දේශපාලඥයන්ගේ නියෝග නොතකා පරිසරයේ ආරක්ෂාව වෙනුන් පෙනී සිටි, ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂණ නිළිධාරිනිය වෙනුවෙන් තමා පෙනී සිටින බවත් ඇය ආරක්ෂා කරන බවත් පරිසර හා වනජීවී
සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රස්න මහතා ප්‍රකාශ කළේය. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබාගැනීමට තැත් කරන්නට ඇත්තේ වන ආඥා පනත පිළිබඳව නොදැන විය යුතු යැයි ද එකී පනත ඉතා ශක්තිමත් බැවින් එම පනත යටතේ පාලනය වන එකඳු බිම් අඟලක්වත් පාර්ලිමේන්තු අනුමැතිය නැතිව ලබා ගැනීමට නොහැකි බවත් හෙතෙම කීය.

වන සංරක්ෂක නිලධාරිනිය කළ දේ හරි බවත් එහි දී සිදුවූ දේ පිළිබඳව කනගාටුව පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. පාසල් වියේ සිට දරුවන්ට පරිසර නීති කියා දිය යුතුයැයි ද එසේ නොකිරීම නිසා බොහෝ දෙනා නීතිය නොදන්නේ යැයි ද පැවැසු අමාත්‍යවරයා  තම රාජ්‍ය ඇමති ලෙස ක්‍රියාකරන සනත් නිශාන්ත මහතා ද නීතිය නොදන්නවා ඇතැයි ද කියා සිටියේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඉඩම් අමාත්‍යාංශයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

-විනීතා එම්. ගමගේ-