1988/89 භීෂණ සමයේදී අතුරුදන්වු ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර  මහතා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒ මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මිය  ගොනුකර තිබූ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරිමට
ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) තීන්දු කළේය.  අධිකරණයෙන් පෙත්සම නිෂ්ප්‍රභ කෙරු එය විභාගයට ගැනීමට පදනමක් නොමැති බව සදහන් කරමිනි.මෙම අභියාචන පෙත්සම සිසිර ද ආබෲ, එස්. තුරේරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ  අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දෙන ලදී.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරයා කියා සිටියේ මීට පෙර මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම කාලවිරෝධී යැයි සලකා ඉවත දමනු ලැබූ බවය.

එම අභියාචනාධිකරණ නියෝගය බලරහිත කර මෙම පෙත්සම යළි විභාගයට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කාර චිත්‍රාංගනී විජේවීර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද ඔහු කියා සිටියේය.

හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් නොමැති බවත්,  ලතීෆ් නඩු තීන්දුවෙන් එය පැහැදිලිවන බවත් කියා සිටි නීතිඥවරයා ඒ අනුව වසර තිහක් ගත වීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කිරිම පිළිගත නොහැකි බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බව ද පැවසීය. සිය සේවාදායිකාවට පැවති බිය සහ ජිවිත තර්ජන හේතුවෙන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇය ඉදිරිපත් නොවූ බව ද නීතිඥවරයා කීය.

නීතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ මෙම සිද්ධිය සිදුවි වසර 30ක් ගතවී ඇති බවත් එම කාලය තුළදී පැමිණිලිකාරිය මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්ය. කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති යැයි සඳහන් කරමින් එය විභාගයට නොගෙම තම නිෂ්ප්‍රභ කළේය.

1989 වසරේදී හමුදා අත්අඩංගුවට පත්වූ තම සැමියා වන රෝහණ විජේවීර පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියෝග කරමින් හබයාස්කෝපුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පෙත්සම්කාරිය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

-තිළිණි ද සිල්වා-