රේගු බදු නොගෙවා නීති විරෝධි  ලෙස මෙරටට ගෙන්වන ලද බෙල්ජියමේ නිෂ්පාදිත ඉහළ මද්‍යසාර ප්‍රතිශතයක් තිබෙන බව කියන "බ්ලැක් ඩෙවිල්" වර්ගයේ බීර කැන් 1,20,000ක පමණ තොගයක්
කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ  කන්ටේනර් 02ක තිබියදීත් එවැනිම වර්ගයේ තවත් බියර් කෑන් 1,200ක් කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබියදීත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයේ පොලිස්  කණ්ඩායමක් විසින් පෙරේදා (15) සවස සොයාගනු ලැබීය.

මෙවැනි වර්ගයේ බියර් කෑන් විශාල තොගයක් අඩංගුව තිබෙන බවට සැක කෙරෙන තවත් විවෘත නොකරන ලද කන්ටෙනර් පහක් (05) පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන එම කන්ටේනර් වැඩිදුර පරීක්ෂණ  සඳහා රේගු නිවාරණ ඒකකයට භාරදුන් බව
එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බියර් තොගයක් කොටහේන සිරිල් සී. පෙරේරා මාවතේ ගබඩාවක ගබඩාකර තිබෙන බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරියකුට ලැබුණ තොරතුරක් මත වැටලීමක් කර මෙම බියර් කෑන් තොගය සොයා ගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමකට ලැබුණු එම තොරතුරු අනුව මුලින්ම කොටහේන සිරිල් සී. පෙරේරා මාවතේ පිහිටි ගබඩාවක් පෙරේදා (15) සවස මුලින්ම වටලා බ්ලැක් ඩෙවල් වර්ගයේ බියර් කෑන් 1,200ක පමණ තොගයක් සොයාගෙන තිබේ.  මෙම බියර් කෑන් තොගය සමග ඒවා විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන මාතර ප්‍රදේශයේ පදිංචි අයකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අතඅඩංගුවට පත් මෙම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී මෙවැනිම වර්ගයේ බියර් කැන් විශාල තොගයක් අඩංගු විවෘත කරන ලද කන්ටේනර් 02ක් කොළඹ වරායේ ජයබහාලුම් පර්යන්තයේ තිබෙන බවට තොරතුරු හෙළිකරන ලදැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායම කොළඹ වරායට ගොස් එහි රේගු නිවාරණ අංශයේ නිලධාරින්ට ද මේ බව දැනුම්දී රේගු නිලධාරින්ගේ ද සහාය ඇතිව සැකකරු පෙන්වූ කන්ටේනර් දෙක පරික්ෂාකර බලා ඇත.

බියර් කෑන් 1,20,000ක
පමණ තොගයක්  මෙම කන්ටේනර් දෙක පරික්ෂා කර බලා සොයාගත් බව විශේෂ කාර්ය බළකාය කීය. බියර් කෑන් තොගයේ සගවා ඇති බවට සැක කෙරෙන විවෘත නොකරන ලද තවත් කන්ටේනර් පහක් රේගු භාරයට ගෙන ඒවාට සීල් තැබූ බවද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. සොයාගත් බියර් කෑන් තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි ගණනක් විය හැකි බවට පොලිස් විශේෂ කාර්ය බළකාය සඳමන් කරයි.

බෙල්ජියමේ නිෂ්පාදිත බවට සඳහන් කර ඇති මෙම බියර් කෑන් තොගය සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ඇති බව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී ඔහු පවසා තිබෙන බව කියති.
මේවායේ මද්‍යසාර ප්‍රතිශතය සියයට 16ක් බව එම බියර් කැන්වල සඳහන්ව තිබෙන බව විශේෂ කාර්ය බළකාය කියයි. මෙරට අලෙවිකරන බිරවල මද්‍යසාර ප්‍රතිශතය මෙයින් හරි අඩක් වන බව එම බලකාය පෙන්වා දෙයි.

ඉහළ මද්‍යසාර ප්‍රතිශතයක් සහිත බියර් තොග වශයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන කෝටිපති ව්‍යාපාරිකයින් කීප දෙනකු සිටින බවට ලැබී ඇති තොරතුරු ඔයේ විශේෂ කාර්ය බළකාය ඔවුන් සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-