සුදුවෑන් වලින් ගෙන ගිය අය කිඹුලන් ගහන වැවකට දැමූ බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි බොරු රැවුල්වලින් සැරසී පැමිණි පුද්ගලයන් දෙදෙනා සහ එසේ පැවසීම සඳහා ඔවුන්ට මුදල් ලබාදුන් බව පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (06දා) නියම කළාය.

රුපියල් ලක්‍ෂ 05 බැගින් වන ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදාහැරීමට නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමෙන් අනතුරුව සැකකරුන්ට විදේශගත වීම තහනම් කරමින් නියෝගයන් පැනවූ අතර, සැකකරුවන්ග විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදීමටද නියෝග කර සිටියාය.
මෙලෙස ඇප මත මුදාහැරීමට නියම කරනු ලැබුවේ කොටහේන ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිවී.පී. අතුල සංජීව මදනායක (අවු.46) හෙවත්  'උණ්ඩියල් අතුල” සහ අනුගම්මන, අම්පාර ප්‍රදේශයේ පදිංචි එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර (අවු.45) යන දෙදෙනා සහ ඔවුන්ට එසේ පැවසීම සදහා මුදල් ලබාදුන් බව පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහාමඩ් නමැත්තාටය.

පැහැරගෙන යාම, මංකොල්ල කෑම, වධහිංසා පැමිණ වූ බව කියමින් බොරු රැවුල්කරුවන් දෙදෙනා පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිදා කඩවත, මහර ප්‍රදේශයේ හෝටලයකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පසුගිය දෙසැම්බර් 31 වැනිදා රහස් පොලීසියට පැමිණ භාර වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහාමඩ් නමැත්තා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබීණි. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිස් නිලධාරීන් සමග පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ආසන්න දිනයක පැවැත්වූ මෙම මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු වශයෙන් ඉදිරීපත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් වීමට හැකියාව තිබූ බවත්, කෙසේ නමුත් මෙම සිද්ධියට අදාළව දීර්ඝ වශයෙන් පරිකෂණ සිදුකරන බවත් පැවසීය. එහෙයින් සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බවත්, එහෙයින් සැකකරුවන්ට ඇප නියම නොකාට ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් සමග පෙනීසිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇප ලබාදිය හැකි චෝදනාවන් සම්බන්ධයෙන් වන හෙයින් ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. දීර්ඝ වශයෙන් නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය, ජනාධිපතිවරණයට ආසන්න දිනෙක මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇතත්, එම මැතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණය ජයග්‍රහණය කර, ජනාධිපතිවරයා වී ඇති හෙයින් මෙම මාධ්‍ය සාකච්ඡාව හේතුවෙන් ජනාධිපතිවරණ
අපේක්‍ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් වී ඇති බවට නිගමනයකට එළඹීමට හැකියාවක් නැතැයි පෙන්වා දුනාය.

කෙසේ නමුත් 01 සහ 02 සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති මිනීමැරුම් හා මංකොල්ලකෑම් යන චෝදනාවන්ට අදාළ කරුණු නිවැරදිද නැද්ද යන්න වාර්තා කොට නැතැයිද, 04 වැනි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේ දෝෂ ඇතැයිද පෙන්වා දුන් මහස්ත්‍රාත්වරිය, සැකකරුවන්ට ඇප ලබාදීමෙන් විමර්ශනවලට බාධා වීමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් සැකකරුවන්ට ඇප නියම කිරීමට තීරණය කළාය.ඒ අනුව කොන්දේසි සහිත ඇප මත සැකකරුවන් මුදාහැරීමට නියම කළ මහස්ත්‍රාත්වරිය බොරු රැවුල්වලින් සැරසී අදාළ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි සැකකරුවන් දෙදෙනාට ලබන 08 වැනිදා රහස් පොලිස් නිලධාරියෙක් සමග රජයේ රස පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කටහඬ පරීක්‍ෂණයට  අවශ්‍ය ආදර්ශ සාම්පල ලබාදීමටද නියම කළාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල යළි කැදවන ලබන පෙබරවාරි 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියම කළ මහෙස්ත්‍රාත්ත්වය, සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය එදින වාර්තා කරන ලෙස රහස් පොලීසියට නියම කළාය.