“දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  ඉවත් කර අයියාගෙන් අසා මල්ලි ක්‍රියා කරන  ආකාරයේ ව්‍යවස්ථාවක් ගෙනෙන්නට හදන බව" එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ  රාජකරුණා මහතා මාධ්‍ය හමුවේදි ඊයේ (6) පැවැසීය.  ජනතාව 'අන්දා' තුනෙන් දෙකක බලක් ගැනීම දැන් ඔවුන්ගේ එකම සිහිනය වි ඇති බව කී රාජකරුණා මහතා, තුනෙන් දෙකක බලයක් සිය ආණ්ඩුවකටවත්
දිය යුතු නැතැයිද රට යහපතක් කරනවා නම් විපක්ෂයේ සහාය ගත හැකි යැයිද ප්‍රකාශ කළේය. පිටකොට්ටේ - සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු එසේ කීය. තවදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීය.

මාසයක් තුළ රජය දේශපාලන පළිගැනීමට අරඹලා රාජ්‍ය සේවයේ යෙදෙන 2500ක සේවකයින් දේශපාලන පළිගැනීමට ලක්ව සිටිනවා. දේශපාලන පළිගැනීම් සෑම ක්ෂේත්‍රයකම වෙනවා. අහිංසක - දුප්පත් රාජ්‍ය සේවකයන්ගේ සිට මැති - ඇමැතිවරුන් දක්වා පළිගැනීම් කරලා.පාඨලි මෙන්ම රාජිත මුලින් අත්අඩංගුවට ගත්තා.
රාජිත මාධ්‍ය හමුවක් තැබුවා යැයි චෝදනා කළා. එසේනම් එම්.සී.සී. ගිවිසුම ගැන මාධ්‍ය හමු තැබූ අයත් අත්අඩංගුවට ගත යුතුයි. දැන් රන්ජන් රාමනායකගෙන් පළි ගන්නවා. අන්තිමේ රජයෙන්
දෙන පිස්තෝලය ළඟ තබාගත්තයි අත්අඩංගුවට ගත්තා. දැන් අත්අඩංගුවට ගැනීම් පොලිසිය පිට පටවන්න හදනවා. පොලිසිය භාර ඇමැති ජනාධිපතිවරයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් අත්අඩංගුවට ගත්තේ මේ අය නොදැනද? මේවා බබාහුකුං කතායි. පොලිසියේ තිබෙන සී.ඩී. තැටිවල තොරතුරු මැති ඇමැතිවරුන් කියනවා. එසේ වන්නේ කෙසේද? පොලිසියේ නිලධාරින්ට මේ වගේ වැඩ කරන්න අවශ්‍ය නැහැ.  මේවා දේශපාලන පළිගැනීමයි. රජයට විරුද්ධව නැගී සිටින දේශපාලකයන් දඬයම් කිරීම ඔවුන්ගේ අරමුණයි.

ජනතාව පැතු වෙනස මෙයද? පාස්කු ප්‍රහාරය ගැන ඔවුන් එදා කතා කළා. දැන් ඒ ගැන කියන්නේ කුමක්ද? ජනපති කොමිසමක් පත් කරන ලෙස රිෂාඩ් බදීයුදීන් මහතා කියනවා. නමුත් ආණ්ඩුව නිහඩයි. මැතිවරණ සමයේ බොරු බිල්ලන් මැව්වා. සෙසු ආගමිකයන්ට - ජාතීන්ට මඩ ගැසුවා. අපත් සමග ඉන්නා මුස්ලිම් නායකයන්ට අන්තවාදින් යැයි කිව්වා. පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ අය කියන්න හදන්නේ කුමක්ද? 19 වැනි සංශෝධනය නිසා රට පාලනය කරන්න නොහැකි බව මේ අය කියනවා. විධායක බලය අඩු කළ යුතු බව සෑම දේශපාලන පක්ෂයෙම කිව්වා. 19 වැනි සංශෝධනයෙන් ඒ කාරණාවට විසඳුම් දුන්නා. දැන් මැරෙනතුරු ජනාධිපති ධුරය රැඳී සිටීම මොවුන්ගේ අරමුණයි.

අධිකරණය, පොලිසිය ස්වාධීන කිරීම් නවතා එක් පුද්ගලයකුගේ අතට ගන්න හදනවා. අයියාගෙන් අසා මල්ලි ක්‍රියා කරන සංශෝධනයක් මොවුන් ගේන්න හදනවා. මේ කතා කරන්නේ රටේ ව්‍යවස්ථාව ගැනයි. 19 වැනි සංශෝධනයේ අඩුපාඩු තිබේ නම් සාකච්ඡා කළ හැකියි. එහි යහපත් දේ කොතරම් තිබෙනවාද? තුනෙන් දෙකක බලයක් ගන්න මොවුන් හදනවා. සුළුතර බලයක් සහිතව මෙලෙස හැසිරෙනවා නම් තුනෙන් දෙකක් ලැබුණොත් කෙසේ ක්‍රියා කරාවිද? ජනතාවට දැනටමත් සත්‍යය පැහැදිලියි. තුනෙන් දෙකක බලයක් අපටත් දිය යුතු නැහැ. එය අහිතකරයි.  මෙම යහපත් කාරණයක්. අවශ්‍ය නම් විපක්ෂයේ සහය ලැබෙනවා.

අප 19 වැනි සංශෝධනය ගෙනාවේ තුනෙන් දෙකක බලයක් තිබිලාද? ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සහාය දෙන්න අප සූදානම්. බොරුවට ජනතාව නොමග යවන්න එපා. අප සැමවිටම බහුතර කැමැත්තට හිස නමනවා. මේ අය දැන් කරන්නේ කි දේවල් නොවෙයි. හම්බන්තොට වරාය ගිවිසුම ඉරා දමන බව මොවුන් කිව්වා. දැන් ආණ්ඩුව පත්වී මාසයකට වැඩියි. ඒ ගිවිසුම ගැන සාකච්ඡා කළාද? හම්බන්තොට ගිවිසුම යහපත් බව දැන් කියනවා. පෝට්සිටි ව්‍යාපෘතියට චීන රජයට සින්නක්කර ඔවුන් ඉඩම් දී තිබුණා. අප ඒ ඉඩම් බදු ක්‍රමයට ගත්තා. හම්බන්තොට ගිවිසුමේ අඩුපාඩු තිබේ නම් ඒ ගැන චීනය සමග සාකච්ඡා නොකරන්නේ ඇයි?

අනික මේ අය කොළඹ තවත් අක්කර තුනක් විකුණා දමලා. ඒ අය විකුණන විට දේශප්‍රේමියි. අප ඉඩමක් බදු දෙනවිට පරගැති යැයි කියනවා.
දැන් එම්.සී.සී. ගිවිසුම සියයට 30 ක් හොඳ බව කියනවා. අපේ දේශපාලන ගමන තුළ ඔවුන් අපට විරුද්ධව කුමන ක්‍රියා කළ ද අපේ ගමන නතර කරන්නේ නැහැ.  මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - රංජන්ගේ ගිනි අවිය දුන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙනුයි. එහි වගකීම ආරක්ෂක අමාත්‍යාංශයටත් තිබනවා නේද?

පිළිතුර - අදාළ ගිනිඅවි පාර්ලිමේන්තුවෙන් අපට දුන්නා. කැමති අය ඉල්ලුම්පත් යොදා ගත්තා.බහුතර මන්ත්‍රීන් පිස්තෝලය ගත්තා. එහි බලපත් අලුත් කිරිමට අපගෙත් වගකීමක් තිබෙනවා. ඊට ක්‍රමවේදයක් අවශ්‍යයි. අඩුගානේ බලපත් අලුත් කිරිමට ආරක්ෂක අමත්‍යාංශය සිහි කැඳවීමක්වත් කළ යුතුයි. මේතැන තිබෙන්නේ පිස්තෝල කතාවක් නොවෙයි. පිස්තෝලය ඇද ගත්තේ ටෙලිනාට්‍ය වැරදුණ පසුවයි. මෙය
ඉහළින් ආ නියෝගයක්.

රන්ජන් අත්අඩංගුවට ගන්න පොලිසියට තිබුන වුවමනාව කුමක්ද? දැන් කියන්නේ කුමක්ද?
රහස් මපොලිසියට කතාකළ බව කියනවා. මන්ත්‍රීවරුන් වශයෙන් පොලිසියට කතා කළ යුතුයි. අපට චෝදනාව තිබුණෙත් හොරුන් අල්ලන්නේ නැහැ යන්නයි.

ප්‍රශ්නය-  බඩු මිල නැවත වැඩිවෙලා. කොළඹ ඉඩමක් විදේශයකට විකිණු බව කියනවා. විපක්ෂයක් ලෙස ඔබ නිහඩ ඇයි?

පිළිතුර - ආණ්ඩුව ගෙනයන්න ටික කාලයක් දිය යුතුයි. අප දැන් ආණ්ඩු විරෝධි ගමන අරඹලා මේ යන විදියට මාධ්‍යවේදින් බලාගත යුතු වන්නේත් අපටයි. අපට ආණ්ඩු කරන විටත් බනිනවා. විපක්ෂයේ සිටින විටත් බනිනවා. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන් කරන්නේ කුමක්ද? අක්කර තුනක් විකුණලා. වෛද්‍ය නිලධාරීන් කියන්නේ කුමක්ද? අද වර්ජන කෝ? විවිධ සංවිධාන තිබුණා. අද ඒ සංවිධාන කොහිද? අත්අඩංගුවට ගැනීම්වලින් කරන්නේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න එපා යන පණිවිඩයයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ඔබගේ රජය කාලයෙත් දේශපාලන පළිගැනීම් වුණා ද?

පිළිතුර - සැබෑ චෝදනාවලට එරෙහිව ක්‍රියාත්මක වුණා. මට උදාහරණයක් ලෙස මල්වානේ ඉඩම, ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන චෝදනා තාම එහෙන්ම තිබෙනවා. මාධ්‍යයන් ඒවා මතු කරන්නේ නැත්තේ ඇයි?

ප්‍රශ්නය-  එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් විය යුතුද? සජිත්ට නායකත්වය නොලැබුණහොත් වෙනම සන්ධානයක් හදනවාද?

පිළිතුර - එය පක්ෂය ඇතුළේ සාකච්ඡා කර සෙසු පක්ෂ එකතු කරගෙන ඉදිරියට යනවා. ඒ ගැන ගැටලුවක් නැහැ

ප්‍රශ්නය - ප්‍රධාන පක්ෂ දෙක අතර ඩිල් තියනවාද?

පිළිතුර - ඒක මටත් ප්‍රහේලිකාවක්. එක්කෝ අධිකරණ ක්‍රියාවලියේ අඩුපාඩු තිබුණා. නැතිනම් බලපෑම් ඇතිවුණා. මොන තත්ත්වයක් නිසා හෝ සාධාරණය ඉටුවුණේ නැහැ. රන්ජන්ගේ පිස්තෝලයට වඩා පාස්කු ප්‍රහාරය, මහ බැංකු  බැඳුම්කරය, තාජුඩීන් ඝාතනය ප්‍රබලයි. මේවාට බලපෑම් ඇති. මේ තත්වය වෙනස්විය යුතුයි. දේශපාලකයන්ට මෙන්ම සියලුම පාර්ශවවලට මේ තත්තවය අදාළයි.

-අංජුල මහීක වීරරත්න-