වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ගමන් කළ ජීප් රථය හා යතුරුපැදියක් අනතුරට ලක්ව, එම යතුරුපැදිය පැදවූ තැනැත්තා මරණයට පත්වී ඔහුගේ බිරිඳ හා දියණිය බරපතළ තුවාල ලැබීම ගැන
කහටගස්දිගිලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ රන්පත්විල හන්දිය අසල දී ඊයේ (16) රාත්‍රී 7.40ට පමණ සිදුවූ මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය.රන්පත්විල ඇල්ලෙවැව පදිංචි පී. රංජන් කුමාර නමැති අයෙකි.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි ඔහු කහටගස්දිගිලිය රෝහලට රැගෙන යන අතරතුරදී මරණයට පත්ව ඇති බවත්. 40 හැවිරිදි ඔහු සිවිල් ආරක්ෂක බළකායේ භටයකු බවත් මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මියගිය තැනැත්තාගේ බිරිඳ 36 හැවිරිදි ප්‍රියංගා සෙනෙවිරත්න සහ දියණිය 12 හැවිරිදි ෂමින්ද්‍යා නිම්සරණි ප්‍රතිකාර සඳහා මිහින්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබිණි.

අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මාර්ගයේ ඉදිරියෙන් ගිය
යතුරුපැදියේ පසුපසින් වේගයෙන් ආ ජීප් රථය හැපුණු අවස්ථාවේ යතුරුපැදියේ ගමන් කළ තිදෙනා විසිවු බවයි.

අනතුරට ලක්වූ ජීප් රථයේ චන්ද්‍රසේන අමාත්‍යවරයාද සිටි බව දැනගන්නට ඇත.

ජීප් රථය පැදවූ රියැදුරා අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ සිදුකරන බව කහටගස්දිගිලිය පොලිසිය පවසයි.

අතුල බණ්ඩාර