ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව මාස දෙකක් ගත වන විට රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ, ජනතා. විමුක්ති පෙරමුණු පක්ෂ මුලස්ථානයෙන් ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය දැව සංස්ථාව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතනවලට තවමත් අධ්‍යක්‍ෂකවරුන් පත්කර නොමැති බවත්, දූෂිත පුද්ගලයන්ට තනතුරු ලබාදීම ඇතුළු ප්‍රතිපත්තිමය ගැටලු ගණනාවක් මේ වනවිට පවතින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
" ගෝඨාභය ජනාධිපතිවරයා පත්වෙලා ඊයේ දිනට මාස දෙකක් වෙනවා. ඒ මාස දෙකක කාලය තුළදී
මේ වනවිටත් රාජ්‍ය ආයතන අති විශාල ප්‍රමාණයකට ප්‍රධාන ගණයෙහිලා සැලකෙන රාජ්‍ය ආයතන දෙසිය තිස්අටක් තවත් රාජ්‍ය ආයතන දෙසිය ගණනකුත් ඇතුළු ඔක්කොම රාජ්‍ය ආයතන පන්සිය ගණනක් තියෙනවා. ඒ රාජ්‍ය ආයතන අතිවිශාල ගණනකට මේ වනවිටත් කරන ලද පත්වීම්වල ප්‍රතිපත්තිය ගැටලු ගණනාවක් තියෙනවා. එකක් තමයි මේවා බහුතරයකට සභාපතිවරුන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල ජනාධිපතිවරයෙක් පත්වෙලා, අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීලා මාස දෙකකට පස්සෙත් පත්කරලා නෑ. ඒක පළවෙනි කාරණය.

දෙක තමයි. දේශපාලන හිතවතුන් පත්කළ ක්‍රියාවලියක් පෙනෙන්නට තිබෙනවා, තුන්වනි කරුණ ඥාතීන් පත්කිරීමේ ක්‍රියාවලියක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම හතරවැනි කරුණ තමයි දූෂණ චෝදනා ලබපු පුද්ගලයන් රජයේ ඉහළම තනතුරුවල සිට පත්වීම් ලබලා තියෙනවා, ඒ වගේම කිසිදු සුදුසුකමක්, පළපුරුද්දක් නොමැති පුද්ගලයන් මේ ආයතනවලට පත්කරලා තියනවා. මේ කරුණු පහ මං හිතනවා වර්තමාන මේ දෙවැනි රාජපක්‍ෂ පාලනය තුළ රාජ්‍ය ආයතන කළමනාකරණය කිරීමේ ගැටලු කියලා" යනුවෙන් පවසා සිටියේය.

එහිදී මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නවලටද මන්ත්‍රීවරයා  පිළිතුරු ලබාදුන්නේය.
ප්‍රශ්නය :
ආණ්ඩුව
කියනවා ඊළඟ මැතිවරණයේදී 2/3 බලයක් දෙන්න ජනතාවට සහන දෙන්න කියලා. ඇත්තටම ඒක අවශ්‍යද?

පිළිතුර :
කිතුල් ගහට නැගී  මිනිහටත් කියන සිදයක් තිබුණලු, ආණ්ඩුවක් ඒ වගේ තමයි. මීට කලින් තිබුණ බොහෝමයක් ආණ්ඩුවලට තුනෙන් දෙකේ බලයක් තිබේ. නෑ. ඒත් මීට පෙර පැවැති රාජපක්‍ෂ පාලනය තුනෙන් දෙකේ බලයක් හදාගත්තා,  ඒකෙන් ගොඩක් ආයතන කඩාවැටුන එකයි. මොකද අධික බලය අධික දූෂණය ඇති කරනවා.

තමන් හදාගත්ත බලය උපයෝගී කරගෙන ගොඩක් ආයතන දූෂිත තත්වයට පත්කරන්න රාජපක්‍ෂ පාලනය කටයුතු කළා. ගොඩක් ආයතන පාලනය කරන්නේ පනත් මගින්.

හොඳ පනතක් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ වගේම කැබිනට් මණ්ඩලයට කැබ්නට් පත්‍රිකා ඉදිරිපත් කරලා සම්මත් කරගන්න පුළුවන්, ඒ මඟින් වැඩ කරන්නෙ ආණ්ඩුවට පුළුවන්. තුනෙන් දෙකේ බලයක් අවශ්‍යය වෙන්නේ ව්‍යවස්ථා සංශෝධන වගේ කාරණාවලට. ජනතාවට පොහොර සහනාධාර දෙන්න වුණු කාරණාවලට ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නෑ.

මේ ආණ්ඩුව කරන්නේ ජනතාව මුළා කරන වැඩක්.මේ ආණ්ඩුව පත්වුණ දවසේ ඉඳලා ජනතාවට කෝචෝක් කරන එක තමයි කරන්නේ . ඇත්තටම ආණ්ඩුව තමන්ගේ බැරිකම වහගන්න තමයි තුනෙන් දෙකේ බලය ගැන කතා කරන්නේ.

දිනේෂ් සමරකෝන්