මගී ජනතාව සූරාකෑමට ලක්කරන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සතියක් තුළ අහෝසි කරන බවට වර්තමාන ආණ්ඩුව ලබාදුන් පොරොන්දු කඩ වී තිබෙන බව බස් සංගම් සඳහන් කරති. අදාළ සේවාව සතියක් තුළ අහෝසි කරන බවට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය 02 වැනිදා පොරොන්දුවක් ලබාදුන්
බවත්, එහෙත් මෙතෙක් එම පොරොන්දුව ඉටුකර නොමැති බවත් සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය පවසයි.

අර්ධ සුඛෝපභෝගී සේවා තුළ වැඩි වශයෙන් සිටින්නේ දේශපාලනඥයන්ග් හිතවතුන් බවත්, මේ නිසා මෙම සේවාව අහෝසි කිරීමට මෙතෙක් බිහි වූ ප්‍රවාහන අමාත්‍යවරුන්ට නොහැකි වී තිබෙන බවත්
එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය. කිසිදු අමතර පහසුකමක් ලබානොදී මගී ජනතාවගෙන් සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අයකර ගන්නා අධි සුඛෝපභෝගී සේවාව අහෝසි කිරීම පිළිබඳ වසර ගණනාවක සිට කතාබහක් ඇති වී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය  පෙන්වා දෙයි.

මෙම සේවාව අහෝසි කිරීමට වසර ගණනාවක සිට සැලසුම් කළ බවත්, වර්තමාන ආණ්ඩුවත් ඊට අදාළ සැලසුම් සකස් කළ බවත්  එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. එහෙත් වර්තමාන ආණ්ඩුව සිදුකළ සැලසුමත් මේ වනවිට කඩාකප්පල් වී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

-ඉන්දික හේවාවිතාරණ-