https://www.gossiplankanews.com/2020/01/ruwan-weli-seya-scandal.html
රුවන්වැලි මහා සෑයේ පළඳවා තිබූ පැරණි කොත ගැලවූ පසු එම කොතෙහි තැන්පත් කර තිබූ භාණ්ඩ අස්ථානගත වීමක් වූවාද යන්න ගැන පරීක්ෂණයක් අරඹන බව පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසා තිබේ.
ඒ මහතා සඳහන් කළේ, මෙහිදී යම් අක්‍රමිකතාවයක් සිදුවී
තිබෙන බවට ලැබුණු

පැමිණිල්ලකට අනුව එම පරීක්ෂණය සිදුකරන බවයි.

ඒ අනුව, රුවන්වැලි මහා සෑයට පළඳවා තිබූ පැරණි කොතේ අඩංගු මැණික් ආදිය පිළිබඳව යම් භාණ්ඩ ලැයිස්තුවක් පැවැතියේද යන්න සොයා බැලීමට නියමිතයි.

මහා සෑය පුරාවස්තුවක් වූවද එහි පළඳවා තිබූ කොත අවුරුදු සියයක් තරම්වත් පැරණි එකක් නොවන බැවින්, එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පාලනය යටතේ නොපැවතුණු බව පැවසේ.

පැරණි කොතට අදාළ තක්සේරුවක් ලබාදීම සහ එහි කටයුතුවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් අවශ්‍යද යන්න සොයා බැලීම සඳහා කමිටුවකට යොමු කිරීමට බලාපොරොත්තු වන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා මෙසේ කියා තිබේ.

“පැරණි කොත් වහන්සේ සවි කරලා තියෙන්නේ 1940 වර්ෂයේදීයි.

අවුරුදු 100 ක් නොමැති නිසා එම කොත පුරාවස්තුවක් යටතට ගැනෙන්නේ නෑ. ඒ නිසා කොත් වහන්සේගේ අයිතිය තිබෙන්නේ රුවන්වැලි මහාසෑයේ විහාරාධිපති හිමියන්ටයි. පැමිණිල්ල පිළිබඳව කටයුතු කරන්න වෙන්නේ විහාරාධිපති හිමියන් සමගයි. ඊට මැදිහත් වෙන්න දෙපාර්තමේන්තුවට නීත්‍යනුකූල බලයක් නෑ. පුරාවිද්‍යා ආඥා පනත බලාත්මක වෙලා තියෙන්නේත් කොත් වහන්සේ ස්ථාපනය කරාටත් පසුවයි. කොත සවි කරද්දී පුරාවිද්‍යා ආඥා පනත තිබිලත් නෑ. මේ නිසා කොත් වහන්සේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කොයි පැත්තකින්වත් ඇතුළු කරගන්න විදිහක් නෑ. මම ඉද්දී කොත් වහන්සේ පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබුණේ නෑ.”