රජයේ පාසල්වල අතරමැදී පත්තිවලට සිසුන්  ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉකුත් වසරේදී එම පත්තිවලට ඇතුළත්වීම සදහා සුදුසුකම් ලැබූ සහ අධ්‍යාපන ලේකම්වරයා නිර්දේශ කළ සිසුන් ඇතුළත් කිරීම
ඇතැම් විදුහල්පතිවරුන් ප්‍රතික්ෂේප කර තිබේ. එම නිසා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මවුපියෝ මාස ගණනාවක් තිස්සේ බලවත් අපහසුතාවකට පත්ව සිටිති.

කොළඹ රාජකීය කොළඹ දේවිබාලිකා සහ තවත් පාසල් කීපයක විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශ කඩකරමින් හිතුවක්කාරී ලෙස කටයුතු කරන බවට ද එම මවුපියෝ චෝදනා කරති.රජය හෝ අමාත්‍යාංශයක් හෝ ප්‍රතිපත්තිමය තීරණයක් ගතහොත් එය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින නමුත් අඳාළ චක්‍රල්බ උල්ලංඝනය කරමින් හා සදාචාරාත්මක මූලධර්මවලට පටහැනිව
ඉහළ නිලධාරීන්ගේ නියෝගය කඩකිරීමට ඔවුන්ට නොහැකි බව ද ඇතැම් විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍ය සංගම්වලට මුවාවී ඉන් ගැලවී සිටින බව ද මවුපියෝ පවසති.

අධ්‍යාපන ලේකම්වරයාගේ 2008/37 චක්‍රලේඛ ප්‍රකාරව ඉකුත් 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ දී 10 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට සම්මුඛ පරික්ෂණයක් පැවැති අතර ඉන් ඉහළ ලකුණු ලැබූ සිසුන් 9 දෙනා මේ දක්වා විද්‍යාලයට ඇතුළත් කරගෙන නැතැයිද ඔවුන්ගේ මවුපියෝ කියති.  එම සිසුන් මෙම වසරේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර ඔවුන් පාසලට ඇතුළත් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වීමෙන් විභාග කටයුතුවලට පවා බාධා පැමිණෙන බව ද මවුපියෝ පෙන්වා දෙති.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පවරා ඇති  නඩු කටයුත්තක් තිබෙන බව කියමින් හා වර්තමාන
අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය බව ආදී එකිනෙකට පරස්පර හේතු කියමින් එම විදුහලේ බලධාරින් තවදුරටත් එම සිසුන් අසාධාරණයට ලක්කරමින් සිටින බව ද ඔවුහු කියති.මේ අතර කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග නොසලකා හැර  මවුපියන්ට කරුණු පැහැදිලි කිරීමටවත් අවස්ථාවක් ලබාදී නැතැයිද පැවසේ.

එහෙත් දේවි බාලිකා විදුහල්පතිනිය ගුරුවරියන් දෙදෙනකුගේ සිසුන් තිදෙනකු ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මැරිතිවරණ  කොමිසමේ නියෝග කඩකරමින් පාසලට ඇතුළත් කර ඇති බව  ද වාර්තා වේ. අතරමැදි පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී ඉකුත් වසරේ සිදුව ඇතැයි කියන මෙම අක්‍රමිකතා පිළිබඳව මවුපියන් පිරිසක්  මානව කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ.