https://www.gossiplankanews.com/2020/01/ranjan0udayakantha.html
න්ජන් රාමනායකගේ හඩ පට පිටවීම ගැන ප්‍රකට සිනමාවේදී උදයකාන්ත වර්ණසූරිය අද දින රාවය පුවත්පතට සපයා තිබෙන සටහනක් පහතින්

ගානියාගේ 'ස්විස් අන්දරය’ චම්පිකගේ "මාරක රිය අනතුර" රාජිතගේ "සුදුවෑන් පිල්ලිය' නමැති ඒකාංගික ටෙලිනාට්‍ය අවසන් අදියරට පැමිණ තිබෙන මොහොතේ රන්ජන්ගේ "හඩපට හුටපට' ප්‍රාසාංග 7ක ටෙලිනාට්‍ය මාලාව දැන් ප්‍රදර්ශනය වෙමින් පවතී. කතිරය ගසා
යහපාලන ආණ්ඩුව එලවා ලබා ගත් අලුත් ආණ්ඩුවෙන් ලැබෙන සහනාධාර හා අනෙකුත් උදව් පදව් දෙස උපේක්ෂාවෙන් බලා සිටි ජනතාවට බඩු මිල ඉහළ යාමෙන් හිතට දැනුණු වේදනාව සමනය කොට ගත සිතට වින්දනයක් ලබාදෙන ඉහත නාට්‍ය මාලාව අලුත් ආණ්ඩුවටත් මොහොතක අස්වැසිල්ලක් වී ඇති බව පෙනේ.
ජනතාව ඒ ආකාරයේ කිසියම් විකෘති තෘප්තියක් ලැබුවත්. රන්ජන්ගේ හඬපට ඔස්සේ අද මේ රටේ ඇතිවී ඇත්තේ භයානක මෙන්ම අප්‍රසන්න හෙළිදරව්වකි. එය චම්පිකගේ රිය ඇන ගැනීමකට වඩා වෙනස් වන්නේ මෙරට උත්තරීතර අධිකරණය ඇතුළු රාජ්‍ය සේවය

එම හෙළිදරව් ඔස්සේ බරපතළ දෙදරීමකට ලක්ව ඇති නිසාය.
බලය හා දූෂණය පෙරදැරි කරගෙන හොර පූසන් සේ පාර්ලිමේන්තුවේ හැසිරෙන බොහෝ අයට වඩා රන්ජන් අවංකය. එඩිතරය. අසාධාරණ නම් තම පක්ෂයේ අයවලුන්ට පවා ඔහු චෝදනා එල්ල කරන්නට නොපැකිළෙයි. නීතියේ හා පූජ්‍ය පක්ෂවල නොපනත් ක්‍රියාද වරින් වර ඔහුගේ දරුණු විවේචනයට බඳුන් විය.

 ඒ නිසා ඔහුට නඩුහබවලට පැටලී උසාවි ගානේ යෑමටද නිතර සිදුවෙයි. කොකේන් ගසන මන්ත්‍රී, ඇමතිවරු පවා රට මෙහෙයවන පාර්ලිමේන්තුවේ සිටින බවකුත් පසුගිය කලෙක ඔහු පැවසීය. ඒ නම් හෙළි කරන්නටද ඔහු සූදානම්ව සිටියේය. එහෙත් ඉහළ බලවතුන්ගේ නොයෙකුත් තර්ජන හා ගැරහුම් මැද්දේ ඔහුට ඒ දේ කරන්නට නොහැකි විය.
තමන්ට ලැබෙන හා ලබාදෙන දුරකතන ඇමතුම් පටිගත කිරීමේ පුරුද්දක් රන්ජන්ට තිබිණ. අනුන්ගේ අවසරය නොගෙන එවැන්නක් කිරීම අශෝභන වැඩකි. දැන් තිබෙන තාක්ෂණය ඔස්සේ ඇමතුම් පටිගත කිරීම ඉතාමත් සුළු දෙයකි. රන්ජන්ගේ දුරකතනයට එන යන හැම දුරකතන ඇමතුමක්ම ස්වයංක්‍රීයව ඔහුගේ දුරකතනයේ පටිගත වී ඇත. එය ඔහු ඕනෑකමින්ම කරන ලද්දේ තමාට තර්ජනයක් වූ විටක ඒවා පාවිච්චි කිරීමට විය හැකිය. නමුත් ඔහු
නොසිතූ පරිදි ඒවා සමාජයට විවර විය. තම දේශපාලන බලය පාවිච්චි කරමින් ඔහු කළ සංවාදවලින් විනිසුරුවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරින් ඔහුගේ ගැට වලට හසුවිය. එමෙන්ම අතිශයින් පුද්ගලික සංවාදවලින් ඔහුත් සිනමා ක්ෂෙත්‍රයත් අවමානයට පාත්‍ර විය.
කතාව යන්නේ ඔහු ළගින් ඇසුරු කළ අයකු එක්තරා මාධ්‍ය ජාලයකට මෙම දුරකතන සංවාද ඇතුළත් තැටි විශාල මුදලකට විකුණා ඇති බවය. එහි සත්‍යතාවක් ඇතැයි හැගෙන්නේ එම මාධ්‍ය ජාලය රන්ජන්ගේ මෙම සංවාද එළිදැක්වීම් තම පුද්ගලික අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට දරන දැඩි වෑයමක් ගැන පෙනෙන්නට තිබෙන නිසාය. කෙසේ වෙතත් මෙම පුද්ගලික අවශ්‍යතාව මුල් කරගෙන සමාජයට විවර වූ අතිශයින් විවාදශීලී වූ මෙම දුරකතන සංවාද නිසා බොහෝ රාජ්‍ය ආයතන හා රජයේ උසස් නිලධාරින් මහත් අපහසුතාවකට පත්වී ඇත. එම ආයතන හා පුද්ගලයන් පිළිබඳව ජනතාව තුළ මහත් පිළිකුලක් හටගෙන ඇත. එම පුද්ගලයන්ගේ ජීවිතද මහත් අවදානමකට ලක්වී ඇත.
එක අතකින් මෙම දුරකතන සංවාද තුළින් හෙළිවෙන, උසස්වීම් වැනි වරදාන උදෙසා අපගේ ගෞරවයට පාත්‍ර වූ ඉහළ රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයන් ඉදිරියේ හැසිරෙන නියාලු ගති සොබා දකින විට මුළු රාජ්‍ය සේවය කෙරෙහිම අප තුළ ඇතිවන්නේ දැඩි කලකිරීමකි. අවිශ්වාසයකි. රන්ජන් වැන්නකුට මෙවැන්නක් කළ හැකි නම් ඉහළ දේශපාලන බලවතුන්ට මොනවා කරන්නට නොහැකිද? පොලිසියට, නීතියට පවා කොතරම් බලපෑම් කළ හැකිද?

 රටේ ජනපතිවරයා මරන්නට තිබූ සැලසුම ගැන මාධ්‍ය සාකච්ඡා කැඳවා, හඬ පට අසන්නට සලස්වමින් මුදල් වෙනුවෙන් අයකු කළ දේ මෙරට  හඩ පට නාඩගමේ මුල් අවස්ථාව විය. ඉන්පසු ඇවන්ගාඩ් නමැති පුද්ගලික යුද ආරක්ෂක සමාගමක ප්‍රධානියකු තමාගේ ගැලවීම වෙනුවෙන් නීති ක්ෂෙත්‍රයේ ඉහළ නිලධාරිනියක් පාවා දෙමින් හඬ පටයක් මුදාහරිමින් මෙරට රාජ්‍ය සේවයට විශාල කළු පැල්ලමක් එක් කළේය.
ඒ අතින් රන්ජන් තම පුද්ගලික වාසියක් උදෙසා රාජ්‍ය නිලධාරීන් සමග කළ සංවාද සමාජයට මුදාහැරියේ නැත. සිදුවූයේ විනෝදයට හා ආරක්ෂාවට එකතු කළ දුරකතන සංවාද ඔහුගේ විරුද්ධවාදීන් විසින් හොරෙන් සමාජයට නිදහස් කිරීමය. අනෙකුගේ සංවාද අවසර නොමැතිව පටිගත කිරීම මෙන්ම එයද සදාචාර විරෝධීය.
රන්ජන්ගේ මෙම දුරකතන සංවාද ඔස්සේ බොරු නඩු පටලවා, වැරදි තීන්දු මත තබා ආදරණීයයන් හිරගෙට එල්ලුම් ගහට නියමකර ඇතැයි කියමින් නීතියට අභියෝග කරන තැනකට යම් පාර්ශ්වයක් වෙත උත්තේජන ලැබීමක්ද අධිකරණය දූෂිත බවට තමන් කළ ප්‍රකාශවල යම් සත්‍යතාවක් ඇති බවට ඔප්පු කිරීමට තැත් කිරීමක්ද මෙහිදී සිදුවෙයි. කනගාටුවට කරුණක් වන්නේ මෙයින් බොහෝ නිලධාරීන් අපමණ කාලයක් වෙහෙසක් දරා සකස් කළ තාජුඩීන්, එන්නැළිගොඩ. ලසන්ත මිනීමැරුම් ද මාධ්‍යවේදීන්ට කළ දරුණු පහරදීම් වැනි නඩු වාර්තා ද මේ ඔස්සේ තවදුරටත් යටපත්වීමට ඉඩ තිබීම ගැනය. තම දේශපාලන බලපුළුවන්කාරකම් මත විධායකය හා ව්‍යවස්ථාදායකය මොන
නොපනත්කම් කළත් වැදගත් කාරණය වන්නේ ඒවා පාලනය කිරීමට හැකි උත්තරිතර අධිකරණය ස්වාධීනව, පිරිසිදුව හා බලවත්ව පවත්වා ගැනීමය.
රන්ජන් මෙවැන්නක් කළේ වෙනත් බලවතුන්ගේ ඕනෑකමට හා ඉගැන්නුම් බස්වලටද? එවැනි කතාබහක් සමාජය තුළ පැතිර යයි. මට මෙහිදී සාජන්ට් නල්ලතම්බි වූ නිහාල් සිල්වා මතකයට නැගේ. මිනිසුන් විනෝදමත් කිරීම අතින් ඔහු සිටියේ රන්ජන්ටත් වඩා සෑහෙන ඉදිරියෙනි. බලය ලබා ගැනීම වෙනුවෙන් ඔහුගේ එම අහිංසක සහජ හැකියාව කොල්ලකා ගත් එදා සිටි පාලකයෝ දේශපාලනයේ දිග පළල නොදැන, කිසිදු සමාජ විරෝධයක්ද නොදක්වා සිටි ඔහුට, කළගුණ සැලකීම් වශයෙන් දේශපාලන වරදාන ලබා දුන්හ. අවසානයේදී ඔහුට එම දේශපාලනයේ ගොදුරක් වී වෙඩි උණ්ඩයකින් ජීවිතයෙන්ද, සමුදෙන්නට සිදුවිය.
සමහර කපටි දේශපාලනඥයන් තම බලය සවිමත් කරගැනීමට කලාකරුවන් සෑම අයුරින් යොදා ගැනීම එදා මෙන්ම අදත් සිදුවෙයි.
රන්ජන් කාගේ හෝ බළල් අතක් වූවා නම් 'මිස් ෆයර්' වීමක් ගැන අවධානයෙන් සිටීම වඩාත් හොඳය.
රන්ජන් ඇමතුම් දුන්නත් ඔහු සමග කතාවට යාම හා ඔහුගෙන් වරදාන ඉල්ලීම් ගෞරවනීය උසස් රාජ්‍ය නිලධාරීන් නොකළ යුතු නොහොබිනා ක්‍රියාවන්ය. රට කිසියම් කැළඹීමකට පත් කළ මෙම හඬ පට සිද්ධියෙන්වත් රාජ්‍ය නිලධාරීන් හා විනිසුරුවරුන්, මන්ත්‍රීවරු ඇමතිවරු ඉදිරියේ පාච්චල්, හුරතල් නොවී තම වෘත්තීය ගෞරවය හා ආත්මාභිමානය රැකගෙන න්සේගේ නිරත විය යුතු බවට පාඩමක් ඉගෙන ගත්තේ නම් එයවත් රටේ යහපතට හේතුවක් වනු ඇත. "

උදයකාන්ත වර්ණසූරිය