හෝමාගම පනාගොඩ ලේලන්ඩ් හන්දිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වාගෙනගිය  "ෆෙස්බුක්" සාදයක් වටලා දේශීය සහ විදේශීය මත්පැන් සහ හදුනා නොගත් මත්ද්‍රව්‍ය විකිණීමේ නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනකු ඊයේ (26) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි. මෙම සාදය සඳහාම  මුහුණුපොතේ මිතුරු සංගමයක් හරහා 600කට ආසන්න පිරිසක් රුපියල් 2000 බැගින් මුදල්
ගෙවා තිබූ බවත් රාත්‍රි 7 සිට පසුදා අළුයම 5 දක්වා එම සාදයට සහභාගී විය හැකි බව දැනුවත් කර තිබූ බවත්
වැටලීම  සිදු කළ අවස්ථාවේදී වයස  අවුරුදු 17ත් 30 ත් අතර තරුණ තරුණියන් 40 කට ආසන්න පිරිසක් එයට සහභාගී වී සිටි බවත් එම කාර්යාලය පවසයි.

අදාල මුහුණුපොතේ සාදය පිළිබඳව පාදුක්ක සුරාබදු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක  සුමිත් චන්ද්‍ර කුමාර මහතාට ලද තොරතුරක් මත එම මුහුණුපොතේ ගිණුමෙහි සඳහන් බැංකුවට මුදල් ගෙවා රිසිට් පත් ලබාගෙන උපාය දූතයන් දෙදෙනකු එම සාදයට සහභාගී කරවීමට කටයුතු කර ඇති අතර එහිදී සාදය පැවැති උත්සව ශාලාවට ඇතුළු වන ස්ථානයේදී බැංකුවට මුදල් ගෙවූ බිල්පත් ගෙන අතේ පැළදිය හැකි රබර් වලල්ලක් නිකුත් කර ඇති අතර එම වළල්ල පැළඳ ඇති අයට පමණක් සාදය පැවැති ස්ථානයට ඇතුල්වීමට අවසර ලැබී ඇත.

එලෙස සාදයට සහභාගී වූ උපාය දූතයන්ට මෙම සැකකරුවන් සාදය අතරතුරදී, බියර්, දේශීය විදේශීය මත්පැන්, ඩාන්සින් ටැබ්ලට් සහ හඳුනා නොගත් මත් පෙති වර්ග, අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම තීරු බදු නොගෙවූ දුම්වැටි කිහිපයක් ද අධික මිල ගණන්වලට විකුණා තිබූ බව වැටලීමට සහභාගී වූ සුරාබදු නිලධාරිහු පැවැසූහ. ඒ අනුව සිදු කළ වැටලීමෙදී බියර් කෑන් 56 ක්, දේශීය මත්පැන් බෝතල් 55 ක් ද, විදේශීය මත්පැන් බෝතල් 15ක් ද, බදු නොගෙවූ දුම්වැටි 120 ක් ද, ඩාන්සින් ටැබ්ලට, අයිස් මන්ද්‍රව්‍ය සහ හඳුනා නොගත් මත් පෙති වර්ග ගණනාවක් ද එම මුහුණුපොතේ සාඳය සංවිධානය කළ සැකකරු සතුව තිබී සොයා ගැනීමට හැකි වූ බවද එම නිලධාරීහු පවසති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාල මුහුණුපොත්තේ සාදය සංවිධානය
කළ බව කියන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු එම සාදයේදී දුම්වැටි අලෙවි කළ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 23 ක තරුණයකු සහ හඳුනා නොගත් මත් පෙති  අලෙවියේ නිරතව සිටි බව කියන පානදුරේ සහ බත්තරමුල් පදිංචිකරුවන් වන වයස අවුරුදු 21 සහ 22 තරුණයින් දෙදෙනකි.

වැටලීම කරන අවස්ථාවේ එම සාදයට සහභාගි වී සිටි තරුණ තරුණයන් 400ක පමණ පිරිස අවවාද කර මුදාහැරී බවද සුරාබදු කාර්යාලය පවසයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනත යටතේ කටයුතු කරන බවද එම කාර්යාලය පවසයි.

-කේ.බුද්ධික කුමාරසිරි-