කොළඹ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රිය ඉකුත් 24 වැනිදා රාත්‍රියේ 11.45ට පමණ ධාවනය වෙද්දී වෙරළබඩ පාරේ පිහිටි දුම්රිය ගේට්ටුව වසා නොතිබීම හේතුවෙන්
දුම්රිය රියැදුරු දුම්රිය නවතා ඉන් බැස දුම්රිය ගේට්ටුව වසා දුම්රිය ධාවනය කිරිමේ සිද්ධියක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වේ.මෙම අවස්ථාවේදී දුම්රිය ගෙට්ටුකරු
ඒ අසලින් නොසිටි බව කියති.

මෙම දුම්රිය හරස් මාර්ගය හරහා දිවා රාත්‍රී දෙකෙහි වාහන රැසක් ධාවනය කෙරෙන අතර දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබීම නිසා වාහන එහා මෙහා ගමන් කිරීම ඇනහිට තිබූ බැව් දැන ගන්නට ලැබී තිබේ. මේ අවස්ථාවේදී දුම්රිය ගේට්ටුකරු පැමිණ තිබෙන අතර එහිදී ඇතිවූ බහින්බස් වීමකදී ගේට්ටුකරුට හෙල්මට්වලින් පහරදීම නිසා ඔහු රෝහලගත කර තිබිණි.

වසා දමා තිබූ දුම්රිය ගේට්ටුව හැර නොතිබිම ගැන ඇතිවූ බහින්බස් වීමේදී තැලීම් තුවාල ලබා මීගමුව දිසා මහ රෝහලේ අංක 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ දුම්රිය නිවාස, කටුනායක පදිංචි පී.ඒ. ලූෂන් ධම්මික සිල්වා නමැත්තෙකි.  සීදුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

-හියුබට් ප්‍රනාන්දු-