අධිකරණ නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 23 වැනිදා රහස් පොලිසියට පැමිණි එහි හිටපු අධ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේස්කර මහතාට පිටත්ව යාමට සිය නිල රථය ලබාදුන් බව කියන රහස් පොලිසියේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි.

වැඩ තහනමකට ලක්ව සිටින
පොලිස් නිලධාරියකුට ගමන් කිරීමට පොලිස් නිල රථයක් ලබාදීම වැරදි ක්‍රියාවක් බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  ඊයේ (26) පැවසීය. වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රහස් පොලිසියේ සිට යෑමට සිය නිල රථය ලබාදුන් බව කියන එම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශයක් ද ලබාගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රහස් පොලිසියේ සිට පිටත්ව යාමට පොලිස් නිල රථයට අමතර පොලිස් රියැදුරකු ද සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සපයා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ගවලින්  දැනගැනීමට ඇත. පොලිස්පතිවරයා ගමන් කරන ප්‍රවේශ මාර්ගය ඔස්සේ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂවරයා පිටව ගොස් ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.  සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු පරික්ෂා කර බැලීමේ දී මේ බව හෙළිවී තිබෙන බව ද පොලිසිය කීය.