https://www.gossiplankanews.com/2020/01/pahiyangala-musical-show.html#more
පුරාවිද්‍යා භූමියක් වූ පාහියංගල ලෙන ආශ්‍රිත භූමියේ සංගීත සංදර්ශනයක් පැවැත්වීම සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් සිදුකරන්නට නියමිතය.
'2020 පටං ගන්න පාහියංගල ගුහාවට එන්න! ප්‍රාග් ඓතිහාසික මානවයාගේ
වාසභූමියක හිඳ ප්‍රාග් ශිෂ්ටාචාරයක මියුලැසිය සොයා යන ගමනට පාහියංගල යන්න එන්න !!'
යනුවෙන් සඳහන් කරමින් ජනවාරි 1 වනදා පැවැත්වූ බව කියන මෙම සංගීත ප්‍රසංගය ගැන ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් විය.
ගුරුවරයකු ඇතුළු පිරිසක් පාහියංගල ලෙන ආශ්‍රිත භූමියේදී මෙම සංගීත

සංදර්ශනය පවත්වා ඇති අතර ඒ ගැන පරීක්ෂණ සිදුකරන බව එහි කොමසාරිස් ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල පැවසීය.

මෙම සංගීත සංදර්ශනය පාහියංගල ලෙන අභ්‍යන්තරයේ පැවැත්වීම සඳහා ලෙන ආසන්න විහාරස්ථානයේ විහාරාධිපති හිමි ඇතුළු පිරිසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසරය ඉල්ලා සිටියද ඊට අනුමැතිය ලබා නොදුන් පසුබිමක බලහත්කාරයෙන් පවත්වා ඇති බව දැනගන්නට ලැබේ.
බුලත්සිංහල පොලිසියට මේ ගැන පැමිණිලි කර ඇත. මෙම සංගීත සංදර්ශනය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස පාහියංගල පුරාවිද්‍යා නිලධාරීන්ට දැනුම්දුන් බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
යම් පුරාවිද්‍යා භූමියක කුමන හෝ කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබාගත යුතු බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
පහත පළවන්නේ ඒ සංගීත ප්‍රසංගය ගැන සමාජ මාධ්‍ය තුළ පළවූ ප්‍රචාරක පත්‍රිකාය.