https://www.gossiplankanews.com/2020/01/oldest-woman-srilanka-117.html
යස අවුරුදු 117 ක් වන මෙරට වෙසෙන වයස්ගතම කාන්තාව මේ වන විට ජීවත් වනුයේ කළුතර දිස්ත්‍රික්කයේ වත්තක ලැයින් කාමරයකය. වේලු පාර්පානි නම් වූ ඇය ආසියාවේ වෙසෙන දෙවන වයස්ගතම කාන්තාව වේ. 1903 මැයි මස 03 වන දින කඩුගන්නාවේදී උපත ලද ඇය මේ වන විට වෙසෙනුයේ නෑඩබ ක්ලෝඩන් වතු යායට අයිති දොඩම්ගොඩ ෆෙදරලිය වත්තේය. ඇගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරි පිටුවේ ඡායාරූප පැහැදිලි නැතත් පසු පිටුවේ සඳහන් වනුයේ ඇය 1903 වසරේ
මැයි මස 03 වන දින උපන් බවය.

වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව මගින් 2006 මැයි මස 22 වැනි දින නිකුත් කරන ලද වැඩිහිටි හැඳුනුම්පතේ සඳහන් වන ආකාරයට ඇගේ උපන් දිනය 1903 මැයි මස 03 වන දින වන අතර ජාතික හැඳුනුත් අංකය 0362402100 වේ. කළුතර මතුගම මාර්ගයේ සපුගහවත්ත හංදියෙන් දිවෙන නෑහින්න මාර්ගයේ දුෂ්කර මාර්ගක ගිය විට ඇය පදිංචි වී සිටින වතු යාය හමුවෙයි. එහි ඇති වතු නිවාස පේළි එසේ නැතිනම් ලැයින් කාමර පෙළේ එක් තැනක් ඇයගේ නිවහනයි. දුෂ්කර මග ගෙවා එහි ගිය විට අපට හමු වූයේ එම නිවසයි. තමන්ගේ කියා කෙනෙකු නොමැතිව ජීවත් වූ ඇයට රැකවරණය ලබා දී තිබුණේ එම වතු යායේම සේවය කරන එම්. තංගයියා සහ ඔහුගේ බිරියයි.


එහිදී අප දැනගත් තොරතුරු අනුව ඇය ඉපදී ඇත්තේ කඩුගන්නාවේය. ඒ ද්‍රවිඩ ජාතික පියකුගේ හා සිංහල මවකගේ දියණිය ලෙසිනි.  පසුව විවාහ වී ඇය පැමිණ ඇත්තේ ගීකියනකන්ද වතු යායටයි. ඇය පවසන ආකාරයට අමරාවතී සහ ගුණපාල ඇගේ දරුවන්ය. ඔවුන් ඇය බැලීමට අවසන් වරට පැමිණ ඇත්තේ මීට වසර පහකට පමණ පෙරය. ඒ සම්බන්ධයෙන් ඇය බලාගන්නා එම්. තංගයියා මෙසේ පැවසීය.

අද මේ අම්මගේ කියලා කවුරුවත් නැහැ. හිටපු  දරුවොත් ආවේ මීට අවුරුදු පහකට විතර කලින්. ඒ අයත්  මේ එන විට මිය ගොස් ඇති කියලා අපි හිතනවා. අපේ දරුවෝ කුඩා කාලේ බලාගන්න උදව් වුණේ මේ  අම්මා. අපි ඇය ඉන්න තාක් කල් ඇයව හොඳට බලා  ගන්නවා. පසුගිය දවස් වල දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයෙන් උත්සවයක් තියලා එයාට තෑගි බෝග දුන්නා. රෝද පුටුවකුත් දුන්නා. මේ සම්බන්ධයෙන්  කළ විමසුමකදී දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශන රණසිංහ මහත්මිය කරුණු දක්වමින් මෙසේ කීවාය.  අපි පසුගිය වැඩිහිටි දිනයේදී ඇයට රෝද පුටුවක් හා තිළිණ රැසක් ලබාදුන්නා. ඇයට මසෙකට රුපියල් 5000/- ක දිමනාවකුත් ලැබෙන්වා. ඊට අමතරව සෑම මාස 04 කට වරක් ඇයට වැඩිහිටි ලේකම් කාර්යාලයෙන් දීමනාවක් ලැබෙනවා. ඇයට තම ඇස් පෙනීම තිබෙනවා. කන් ඇහෙනවා. මීට වඩා හොඳ සුව පහසු තැනක හිටියොත් තවත් කලක් ඇය ජීවත් වේවි කියලා අප විශ්වාස කරනවා.


නිවසක් තනාදීම සඳහා රජයේ ඉඩමක් ලබාදෙන්න පුළුවන්. නිවසක් තනා දීමට කවුරු හරු පරිත්‍යාගශීලියෙක්ට ඉදිරිපත් වුවහොත් එය කර දෙන්න පුළුවන්. ඇයව බලාගන්න අපටත් මා උපදෙස් දී තිබෙන්නේ ඇය වෙනුවෙන් ලැබෙන මුදල් පරෙස්සම් කරගන්න කියලා. කෙසේ හෝ ඇයට නිවසක් තනා දීමට අප කටයුතු කරනවා.  මෙරට වයස්තම කාත්තාව බැහැ දැක අප එම නිවසින් පිටව එන විට ඇය පුටුවක් මත හිඳ සතුටින් හිනැහෙමින් අප දෙස බලා සිටියාය.

-සුනිල් එස්.කත්‍රිආරච්චි-