ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයෙන් භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය ලබා නොදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මහනාහිමිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තාවේ.

ජනාධීපති ගෝඨාභය රාජපකෂ මහතා මහනාහිමිවරුන් මුණගැසුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මේ බව දැනුම්දී ඇත.

ඉදිරී මහ මැතිවරණයේදී භික්ෂූන් වහන්ස්ලාට අපේක්‍ෂකත්වය ලබා නොදෙන ලෙස අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් සහ කාරක සංඝ සභාවේ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇති අතර, එහිදී මේ බව සඳහන් කර තිබේ.

අස්ගිරි මහානායක පුජ්‍ය ආචාර්ය වරකාගොඩ ඥානරතන හිමියන් ඇතුළු සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවේදී අපේක්ෂකත්වය
ලබාදීම සම්බන්ධයෙන් සහ භික්ෂූන් වහන්සේලා මන්ත්‍රීවරුන් ලෙස පත්වීමෙන් පසුව උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

ඒහිදී කහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් දැනුමිදී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයෙන් එලස භික්ෂුන් වහන්සේලාට අපේක්ෂකත්වය නොදීමට තීරණය කර ඇති බවත්, අනිකුත් පක්‍ෂ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත්ය.

එමන්ම ඉදිරි මහ මැතිවරණයේදී සුදුසු පුද්ගලයන්ට පමණක් අපේක්‍ෂකත්වය ලබාදීමට කටයුතු කරන ලෙසද නායක
හිමිවරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

වර්තමානයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම ඒපා යැයි මතයක් ඇති වී තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට සුදුසු පිරිසකට පමණක් ඉදිරි මහ මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු කරන ලෙසද උන්වහන්සේලාගෙන් ජනාධීපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එම සාකච්ඡාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙලිය රඹුක්වැල්ල, එස්.බී. දිසානායක, ආනන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න යන මහත්වරුන් සහභාගි වී තිබේ.

චාමර සම්පත්