බොරැල්ල පිහිටි දිවංගත ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ පිළිරුව අසල වටරවුමේ කොටසක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බූල්ඩෝසර් කර දමා ඇති බවට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ
කළමනාකාර එස්.එස්. අන්ද්‍රාදි මහතා බොරැල්ල පොලිසියට පෙරේදා (28) පැමිණිල්ලක් කර ඇත. ඉකුත් සඳුදා (27) රාත්‍රි හදිසියේම මෙම ඩෝසර් කිරීම සිදුකර ඇති බවටත් එම පිළිරුව සහිත ප්‍රදේශය මීට වසර 23කට පෙර කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්  වෙන්කර දී ඇති බවටත්
ඔහු සිය පැමිණිල්ලේ සඳහන් ඇත.

මේ පිළිබඳව ලංකා සම සමාජ පක්ෂයේ ලේකම්, උතුරු  මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාට දැනුම්දුන් බවද ඒ මහතා  පැවැසීය.පර්චස් 20.79 කින් සමන්විත මෙම බිම් ප්‍රදේශය සඳහා  වාර්ෂිකව රුපියල් 2000ක බිම් කුලියක් තිඹිරිගස්යාය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙචන බවද ඔහු සඳහන් කළේය. මේ වනවිට පිළිරුව අසල බිම් ප්‍රදේශයේ අඩි 6ක පමණ ප්‍රමාණයක් ඩෝසර් කර දමා ඇතැයිද ඔහු පැවැසීය.

මෙම භූමිය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය මගින් නඩත්තු කරනුයේ 1997 සිට බවද එම කේන්ද්‍රයට නොදන්වා මෙවැන්නක් සිදුකිරීම බරපතළ ප්‍රශ්නයක් බවද ඔහු පැවැසීය.මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යපෘති අධ්‍යක්ෂ එස්. සෙල්වනාදන් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසිමකදී ඔහු මෙසේ කීය.

බොරැල්ල ආයුර්වේද වටරවුමේ පිහිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා අනුස්මරණ පිළිරුව සහිත ප්‍රදේශයේ පවතින දැඩි මාර්ග තදබදය අවම කිරිම සඳහා මංතීරු දෙකක් ඉදිකිරීමට එම පිළිරුව සහිත ස්ථානයෙන් කොටසක් ලබාගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියා කළා. ඊට පෙර කොළඹ නගර සභාවෙන් අවසර ලබාගෙන තිබුණත් මෙය ඇන්.ඇම්. පෙරේරා පදනමට අයත් බිම් කොටසක් බව අප දැන සිටියේ නැහැ. මේ නිසා එම ස්ථායට කිසියම් හානියක් සිදුවූවා නම් එම බිම් කොටස සඳහා වන්දි ගෙවීමට අධිකාරිය සුදානම්. සිදුවූ දේ ගැන අප කනගාටුවෙනවා.

-ජයන්ත සමරකෝන්-