නව කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාවක මෙරටින් වාර්තා විමත් සමග ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ (Face Masks)ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක
රනිල් වික්‍රමසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ  නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉන්දියාවේ පවතින බැවින් මෙරටට කඩිනමින් මුහුණු ආවරණ ගෙන්වාගත හැකි ළඟම රාජ්‍යය ඉන්දියාව බැවින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කර ඇත.

තමා කළ ඉල්ලීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද දැනුවත් කර ඇති අතර නව කොරෝනා  වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම සහාය දෙන බවද  පවසා මුහුණු ආවරණ ගෙන්වාගත හැකි ඉන්දියාවේ සමාගම් කිහිපයක් පිළිබඳව තමා දන්නා බවට මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා කළ දැනුම්දීමකට අනුව රජය හා මැදිහත්ව මුහුණු ආවරණ ගෙන්වීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයාට උපදෙස් දුන්නේය.

ජනතාව මේ වනවිට සෞඛ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන් බියකින් පසුවන බැවින් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙසත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.


-අංජුල මහීක වීරරත්න-