මිශ්‍ර පොහොරවලට පාලන මිලක් නොමැති නිසා ප්‍රධාන ආහාර වර්ග තුන මිශ්‍රකර "මිශ්‍ර ආහාර" නමින් විවිධ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමේ ජාවාරමක් රට පුරා පවතින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි. මේ වනවිට රටේ පොහොර හිඟයක් පවතින අතර එහි වාසිය ද ප්‍රයෝජනයට
ගනිමින් මෙම ජාවාරම
සිදුකරන බවත් මිශ්‍ර පොහොර නමින් පොහොර විශේෂයක් රට තුළ නොමැති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා  පැවසීය.

මෙරට ප්‍රධාන පොහොර වර්ග තුන වන යූරියා, කැට පොහොර (MOP), රතු කුඩු (TST) යන පොහොර විවිධ ප්‍රමාණයන්ගෙන් මිශ්‍රකර එක් පොහොර මිටියක් රුපියල් 2500ත් 3500ත් අතර  මිලකට අලෙවි කරන බවද ඔහු කීය. මෙරට තිබෙන ප්‍රධාන පොහොර වර්ග තුනෙහිම පාලන මිල රුපියල් 1000ක් බවද මෙම පොහොර ජාවාරම සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරින්ට දැනුවත් කළද මෙතෙක් කිසිදු පියවරක් ඒ  වෙනුවෙන් ගෙන නැතැයි ද හෙතෙම කියා සිටියේය.

ඇතැම් ප්‍රදේශවල මෙම පොහොර මිටියක්  රුපියල් 4000 මුදලකට අලෙවි වන බවත් මෙම තත්වය ගොවීන්ව සූරා කෑමට ලක් කිරීමක් බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසිය.


-හසිත රංග ගුණතිලක-