ණය ලබාදීමේ දී පුද්ගලයන් සඳහා විශේෂිත මිණුම් ඒකකයක් අද(09) සිට හඳුන්වා දීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පියවර ගෙන තිබේ.



ඒ අනුව ණය ලබාගන්නා පුද්ගලයින්ට “ලකුණක්“ ප්‍රදානය කෙරෙන අතර එමඟින් පහසුවෙන් ණය ලබාගැනීමේ හැකියාව උදාවන බව එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇන්තනී මහතා ප්‍රකාශ කළේය.

පුද්ගලයින්ගේ කීර්තිනාමය ද ණය ලබා ගැනීමේ දී සුරැකුමක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතින බව ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මෙම “ණය ලකුණ“ පළමු වරට අද දිනයේ දී හඳුන්වා දෙන අතර, මෙය දියුණු රටවල ණය ශක්‍යතා අධ්‍යයනය හා ණය අවධානම් කළමණාකරණය සඳහා උපයෝගී කරන්නා උසස් මුල්‍ය ක්‍රමවේදයක් බවයි.

අංක 250 සිට 900 දක්වා විහිදෙන මෙම ණය ලකුණ කාර්යාංශය සතු ඔබගේ ණය තොරතුරු වෙත යොමු කර ගණනය කර ගනු ලබයි.

මෙම ණය ලණුණ තුළින් ණය ඉල්ලුම් කරන්නන්ට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ණය ලබා ගැනීමට ද ඉඩම් ගොඩනැඟිලි වැනි සාමාන්‍ය සුරැකුම් වෙනුවට තම කීර්ති නාමය සුරැකුමක් ලෙස ඉදිරිපත් කර ණය ලබා ගැනීමට ද “ණය ලකුණ“ ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමෙන් වඩාත් යහපත් ලෙස ණය ලබා ගැනීමට හැකි වෙන බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම රටේ ණය ලබා දෙන ආයතනවල ණය ශක්‍යතා අධ්‍යයනය හා ණය අවධානම් කළමණාකරණය උසස් කර අපේ ආර්ථිකයේ මූල්‍යමය සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වා ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.