හිටපු රාජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබද කතාබස්වලින් මැතිසබය ඊයේත් (2) උණුසුම් විය. රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට
සම්බන්ධයෙන් ඊයේ මැතිසබයේදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවිංශ මහතා රන්ජන් රාමනායකගේ හඩපට එළියට චිත්‍රපටය මේ දිනවල තිරගතවන බවත් මේ චිත්‍රපටය තිරගතවිමෙන් බොහෝ අයගේ සළුපට අහසට විසිවෙමින් තිබෙන බවත් ප්‍රකාශ කළේය.
මේ චිත්‍රපටය නිසා නීතියේ කන්‍යාවියගේ තනපටය පවා ගැලවි තිබෙන බව කී වීරවංශ මහතා මේ සිද්ධියෙන් අධිකරණ ක්ෂේත්‍රයම හෑල්ලුවට ලක්වූ බව ප්‍රකාශ කළේය.

සමහර නඩුකාරවරුන් තීන්දු දෙන්නේ  උසස්වීම් බලාපොරොත්තුවෙන් දැයි සැකයක් මතුවන බවද විරවංශ මහතා කීය. හඬපට සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසුවේ මේ සිද්ධිය ගැන අධිකරණ කොමිෂන් සභාව ඉක්මනින් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.  හඩපට සිද්ධියෙන් අධිකරණ ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය බින්දුවටම වැටී ඇතැයිද අලහප්පෙරුම මහතා කීය.

මේ සිද්ධිය පදනම් කරගෙන රන්ජන් රාමනායකට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය විනය පරික්ෂණයක් කළ යුතු බව කී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ගණිකා කටයුතුවලට යොදා ගෙන ඇති මාදිවෙල මන්ත්‍රී නිවාසයෙන් ඔහු වහාම ඉවත් කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය. කිසිවකු විස්වාස නොකරන පිරිසකුත් රන්ජන් රාමනායක සමග ගනුදෙනු පවත්වා ඇතැයිද ඒ හඩපටද ඉදිරියේදී ජනතාව අතට පත්වනු ඇති බවත් ලන්සා මහතා කීය.

ලන්සා මහතා හඬපට ගැන කතා කරද්දි විපක්ෂයෙන් යළි යළි බධා එල්ල වීම නිසා සභාව උණුසුම් තත්වයක් ඇතිවිය. ආණ්ඩුව රන්ජන්ගේ හඬ පට එළියට දමා රටේ ප්‍රශ්න අමතක කිරිමට උත්සාහ දරන බවට මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා චෝදනා කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ක් ඡන්දය දුන්නේ රන්ජන් රාමනායකගේ හඬපට, තනපට අල්ලන්න දැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රශ්න කළේය. හඩපට සිද්ධිය ගැන ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක්ද අදහස් දැක්වූහ.

-අංජුල මහික වීරරත්න-