චීනයේ ඉගෙනුම ලබන ශ්‍රි ලාංකික සිසුන් 380ක් මේ වනවිට ගුවන් මඟින් කටුනායක ගුවන් තොටුපළට එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ. යෝගානන්ද මීහතා පැවසීය. චීනයේ ශ්‍රී ලාංකික සිසුන්
173ක් රැගත් ගුවන් යානයක් පෙරේදා (28) රාත්‍රියේ හෝ ඊයේ (29) අලුයම පැමිණෙන බව ප්‍රකාංශ කළ ද, එවැනි ගුවන් යානයක් කටුනායකට හෝ මත්තල ගුවන් තොටුපොළට පැමිණ නැතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග කියයි.

චීනයේ ග්වැන්ෂෝ සිට පෙරේදා (28) පස්වරු 6.20ට පැමිණි
චයිනා සදර්න් ගුවන් සේවයේ  යානයෙන් ද, එදිනම රාත්‍රී 9.05ට චෙංඩු සිට පැමිණි එයාර් චයිනා ගුවන් සේවයේ යානයෙන් ද චීනයේ ග්වැන්ෂෝ සිට ඊයේ (29) අලුයම 5.30ට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයෙන්ද ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනකු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබූ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය‍ වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.

මෙම සිසුන්ගේ සෞඛ්‍ය තත්තවය පරිකෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම නිසා, ඔවුන්ට නිවෙස් බලා යාමට කටයුතු සලස්වා තිබේ. කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිත රෝග ලක්‍ෂණ පහළ වූවත්, වහාම ළඟම  ඇති රෝහලට යන ලෙස එම වෛද්‍යවරුන් එම සිසුන්ට උපදෙස් දී ඇත. මෙම ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක් වූ ගුවන් තොටුපොළ සෞඛ්‍ය විද්‍යා ඒකකයේ ප්‍රධාන වෛද්‍ය
පී.ආර්. පෙරේරා මහතා පැවසුවේ චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳව  දැනට අනුගමනය කරන ක්‍රමවේදය අසම්පූණ, නිවැරැදි නොවන ක්‍රමයක් බවය.

මෙම සිසුන් චිනයේ සිට කෙළින්ම මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත්, ඉන්පසුව ඔවුන් ගිලන් රථ මඟින් දියතලාව රෝහල ආශ්‍රිත රැදවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දින 10ක් හෝ 14ක් එහි රඳවා තැබිය යුතු බවත් ඔහු කීය.එම කාලයෙන් පසුව සිසුන් වෙතින් කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් ඔවුන් නිවෙස්වලට යැවිය හැකි බවද, රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන සිසුන් ගිලන් රථවලින් අයි.ඩි.එච්. උණ රෝහලට යැවිය යුතු බව ද අවිද්‍යා පී.ආර්. පෙරා මහතා සඳහන් කළේය.

මෙය දඬුවමක් නොවන බවත්, ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ඕනෑම වසංගත රෝගයක් නිවාරණය කිරීම සඳහා මෙය ඉතාමත් සුදුසු ක්‍රමයක් බවත් ඔහු වැඩිදුරත් සඳහන් කළේය. චීනයේ සිටි මිළඟට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානය ඊයේ පස්වරු 6.45ට එහි ළඟාවීමට නියමිතව තිබිණි.

-ටී.කේ.ජී.කපිල-