ඇමරිකාව සහ ජපානය චිනයේ වුහාන් නගරයට විශේෂ ගුවන් යානා යවමින් එහි සිරවී සිටි සිය ජාතිකයන් මුදාගැනීමට ඊයේ (29) පියවර ගත්තේය.මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවරිනි. මේ වනවිට විදේශිකයෝ දහස් ගණනක් එහි සිරවී සිටිති. ජපානය
වෙද්‍යවරුන් ද සමග විශේෂ ගුවන් යානයක් වූහාන් නගරයට යැවූ අතර ජපන් ජාතිකයන් 206 දෙනකු සමග එම ගුවන් යානය  ඊයේ (29) ටෝකියෝ නුවරට ළගා විය.

වුහාන් නගරයෙන් මුදාගත් එම පිරිස නිරෝධායනයට ලක්කිරීමට තීරණය කර නැතැයි ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
එහෙත් පරික්ෂණවල අවසන් ප්‍රතිඵල ලැබෙනතුරු ඔවුන්ට නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් දී ඇත. ජපන් ජාතිකයන් 650 දෙනකු පමණ වූහාන් නගරයේ සිරවී සිටින බව එම නගරයෙන් ලැබෙන වාර්තාවලින් පැවැසේ. ඇමෙරිකාස්වෙන් යැවු විශේෂ ගුවන් යානය ඇමෙරිකානු ජාතිකයන් 240 දෙනකු රැගෙන ඊයේ (20) අලුයම වූහාන් නගරයෙන් පිටත් වූ බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රංශ වැසියන් 1,000කට ආසන්න පිරිසක් වූහාන් නගරයේ සිරවී සිටින අතර ඔවුන් මුදාගැනීම සඳහා අද (30) ගුවන් යානා දෙකක් යවන බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. එක් ගුවන් යානයක් සිකුරාදා හෝ සෙනසුරාදා ආපසු ප්‍රංශයට පැමිණෙනු ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කළේය. යුරෝපා සංගමයට අයත් රටවල වැසියන් 100කට වැඩි පිරිසක් වූහාන් නගරයේ සිර වී සිටින අතර එම පිරිස මුදාගැනීම සඳහා ප්‍රංශය සමග එක්වී පියවර ගන්නා බව යුරෝපා සංගමය නිවේදනය කළේය. වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 32ක් සහ ඔවුන්ගේ ඥාතීන් මුදාගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යැවීමට ශ්‍රී ලංකා බලධාරින් පියවර ගනිමින් සිටින බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉන්දීය ජාතිකයන් 250 දෙනකු, ඉන්දුනීසියානු ජාතිකයන් 230 දෙනකු, මැලේසියානු ජාතිකයන් 78 දෙනකු සහ පිලිපීන ජාතිකයන් 150 දෙනකු වූහාන් නගරයේත් තවත් විදේශිකයන් 150ක් හුබෙයි පළාත් විවිධ ස්ථානවලත් සිරවී සිටින බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය. තායිලන්ත ජාතිකයන් 64ක් සහ ජර්මානු ජාතිකයන් 90ක්, ඇල්ජිරියා, ස්පාඤ්ඤ සහ මොරාක්කෝ ජාතිකයෙක් ද වූහාන් හි සිරවී සිටින බව එම පුවත් සේවය සඳහන් කළේය.