හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයේ වරදකරුවෙකු වූ තැනැත්තෙකුට ජර්මනියේ අධිකරණයක් සිර දඬුවම් නියම කර තිබෙනවා.
ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ස්ථානය පිළිබඳව එල්.ටි.ටි.ඊ. සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවට අදාළ විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වුුුුණා.

නවනීදන් ජී නම් මෙම තැනැත්තාට වසර 6 යි මාස 10 ක සිර දඩුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොණු කිරීමට ඔහුට අවස්ථාව පවතිනවා.

2012 වර්ෂයේ ජර්මනීයේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කර ඇති මොහු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.

සරණාගතභාවය ලබාදීමට පැවති සම්මුඛ පරීක්ෂණයේදී විත්තිකරු විසින් ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බවට ප්‍රකාශ කර ඇති අතර පසුව ඔහු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

2005 වර්ෂයේ අගෝස්තු 12 වන දින කොළඹ පිහිටි සිය නිවසේ දී එල්.ටි.ටි.ඊ. ස්නයිපර් තුවක්කුකරුවෙකු විසින් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කරනු ලැබුවා.