පසුගිය සතියේදී සංචාරකයන් රැසක් කොළඹ සිට නැගෙනහිර පළාතට යාම සදහා හෙලිකොප්ටර් භාවිත කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ඩ්‍රෝන උපකරණ වෙනුවෙන් පැවැති ඉඩකඩ සීමා කළ අතර, එම නීති ඉවත් කිරීමට වත්මන් රජය
කටයුතු කිරීම නිසා පෞද්ගලික හෙලිකොප්ටර් යානාවලට කොළඹ නගරයේ ගොඩබැස්සවීමට අවස්ථාව හිමි වී ඇතිදැයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසීය.

එයට පිළිතුරු දුන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා,
“පසුගිය රජය ඩ්‍රෝන කැමරා භාවිත කිරීම පිළිබඳ රෙගුලාසි දාලා ඒවා අත්හිටුවන්නට කටයුතු කළා. වර්තමාන ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා මේ පිළිබඳ මැදිහත් වෙලා විධිමත් වැඩපිළිවෙළක් සකස් කළා. ඒ අනුව වාර්තාවක් ලබාගෙන එම නීති සම්බාධක ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා මේ වනවිට යාත්‍රා සහ හෙළිකොප්ටර් භාවිත කරන්න පුළුවන් තත්ත්වයක් ඇතිශවලා තිබෙනවා. ඒ නිසා තමයි අපට කොළඹ හා ආසන්න තැන්වලට හෙලිකොප්ටර් යානා බාන්න පුළුවන් වුණා. පහුගිය සති කිහිපය තුළ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ විශාල පිරිසක් නැගෙනහ පළාතට සංචාරක කටයුතුවලට භාවිත කළේ හෙලිකොප්ටර් යානා. මේ රෙගුලාසි ඉවත් කළ නිසා එය අපට පහසු වුණා. ඉදිරියටත් ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන වර්තමානයට ගැළපෙන ආකාරයට යාවත්කාලීන විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා” යැයි පැවසීය.

චාමර සම්පත්