අධිකරණය බලතල ක්‍රියාත්මක කිරීමේදී විනිසුරුවන් තිදෙනකුට බලපෑම් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) (2) වගන්ති ප්‍රකාරව වරදක් සිදුකළැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන්
රාමනායක මහතා අධිකරණ නියෝග ප‍්‍රකාරව "කටහඩ පරික්ෂාව" සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත අද (23) ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණද
එසේ නොකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

නැවත දැනුම්දෙන තුරු හඬ පරීක්ෂාව සඳහා සැකකරු ඉදිරිපත්  නොකරන ලෙස අධිකරණයෙන් කළ දැනුම්දීමකට අනුව එලෙස ඉදිරිපත්  නොකළ බවඳ උසස් බන්ධනාගාර නිලධාරීයෙක් පැවසීය.

නුගේගොඩ මහෙස්ත්‍රාත් යූ.කේ පැල්පොල මහතා මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කළ නියෝගයකට අනුව  මන්ත්‍රීවරයා අද  රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඉකුත්  17 වැනිදා  කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම නියෝගය නිකුත් කර තිබිණි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගේ නිවෙසේ තිබී පොලිස් ඛාරයට ගත් හඬපට සහිත දෘඪතැටිවල අඩංගු 'හඬ'

පරික්ෂාව සඳහා සැකකරු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිම සඳහා අවසර ලබාදෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය යන් ඉල්ලීමක් කර තිබුණේ ඉකුත් 17 වැනිදාය.ඒ අනුව සැකකාර හිටපු අමාත්‍යවරයාගේ කටහඩ සාම්පල ලබාගැනීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල මහතා මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කළේය.

එසේම, මෙම හඩ පරික්ෂාව සදහා සැකකරු  ඉදිරිපත් කරන අවස්ථාවේදී කොළඹ අපරාධ කාර්යාංශය ද සහභාගී වන ලෙසට ද අධිකරණය නියම කර තිබිණ. හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පටිගත කරන ලද හඩපට සහිත දෘඪ තැටි පිටපත් කළ යුතුව ඇති බැවින් එය සිදුකිරිම සඳහා අධි ධාරිතාවකින් යුක්ත දෘඩ තැටි අවශ්‍ය බවට රජයේ රස පරික්ෂකවරයා දැනුම් දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. ඒ හේතුවෙන් ඒවා මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවිය යුතු බවත් එම අධි ධාරිතාවකින් යුක්ත  දෘඩ තැටි පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා තිබිණි.

-නිමන්ති රණසිංහ-