https://www.gossiplankanews.com/2020/01/harry-mrghan-crisis-royal-family.html
බ්‍රිතාන්‍ය රජපවුලේ හැරී මෙගන් යුවළ රාජකීය රාජකාරිවලින් ඉවත් වන බව පසුගිය බදාදා නිවේදනය කිරීම නිසා මහ රැජිණ කලබලයට පත්ව තිබේ.
තමා සහ තම බිරිඳ වන මෙගන් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය රාජකීය රාජකාරිවලින් ඉවත්වී “මූල්‍යමය වශයෙන් ස්වාධීන” වීමට තීරණය කරන ලදැයි හැරී කුමරු දන්වා සිටීම සමග මෙම කලබලය හටගත්තේය.
මෙම තීරණය වෙනස් කරන ලෙස රැජින හැරී කුමරුගෙන්
ඉල්ලා සිටියද ඔහු එම ඉල්ලීම නොතකා තීරණය ඉදිරියට ගෙන යන බව වාර්තාවන අතර හැරී සහ මේගන් ඉවත්ව යාමට ගත් තීරණය රැජිනට රාජකීය හිසරදයක් වී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කර තිබේ.
නිවේදනයෙන් පසු මාළිගාව තුළ දැඩි බලාපොරොත්තු සුන්වීමක් ඇති වූ බව කියැවේ.
මුල්වරට මේ ගැන මෙම යුවළ ඉන්ස්ටග්‍රෑම් සටහනක් තැබීමෙන් පැය කිහිපයකට පසු නිකුත් කළ නිවේදනය ගැන බකිංහැම් මාලිගය මාධ්‍ය වෙත පැවසුවේ තත්වය “සංකීර්ණ” බවයි.
රාජකීය ආරංචි මාර්ග උපුටමින් සීඑන්එන් වාර්තා කර ඇත්තේ බ්‍රහස්පතින්දා රැජින, චාල්ස් කුමරු සහ

විලියම් කුමරු වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන් නිවේදනය සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවයි.
මෙම යුවළ එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව තුළ ඉදිරියේදී කාලය ගතකිරීමට සැලසුම් කර ඇති බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය පළකිරීම් මගින් අනාවරණය කර තිබේ.
රාජකීය පවුලේ අය සමග මැඩම් තුසාඩ් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති මෙගන් හා හැරී යුවළගේ ඉටි රූප එතැනින් ඉවත් කරන්නටද මෙම දෙදෙනා කටයුතු කර ඇත.
යුවළගේ නව වෙබ් අඩවියක ඔවුන්ගේ අනාගතය පිළිබඳ ඔවුන්ගේ දැක්ම පිළිබඳ වැඩි විස්තර ඇතුළත් වේ. එයින් ඇඟවෙන්නේ හැරී සහ මේගන් "මූල්‍ය ස්වාධීන" වීමට අදහස් කරන අතරම, ඔවුන් වෙනුවෙන් තවමත් බ්‍රිතාන්‍ය රජය අරමුදල් සපයන දේවලින් ඉවත්ව යන බවයි. ඔවුන්ගේ නිල නිවස වන වින්ඩ්සර් හි මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද ෆ්‍රොග්මෝර් කොටේජ් පදිංචිය සඳහා ඉදිරියේ භාවිතා කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.
හැරී සහ මේගන් මූල්‍යමය වශයෙන් ස්වාධීන' වන්නේ කෙසේද? යන්න රැජිණට පවා ප්‍රහේළිකාවක් වී තිබේ. මෙම යුවළ බ්‍රිතාන්‍ය මාධ්‍ය සමඟ ගැටලුකාරී සම්බන්ධතාවයන් මේ දක්වා පවත්වා ඇත. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මේගන් විසින් තම පියාට යැවූ පෞද්ගලික ලිපියක් එක් මාධ්‍යයක් මගින් නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට චෝදනා කරමින් ඊට නඩු පවරා තිබුණි.
ඒ අතරම, හැරී තම බිරිඳට එරෙහිව “කුරිරු ව්‍යාපාරයක්” ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල කළේය.
බ්‍රිතාන්‍ය රාජකීයත්වය තුළ පවතින සාම්ප්‍රදායික කටයුතු ඇමරිකානු නිළියක වන මෙගන්ට ඔරොත්තු නොදෙනු ඇති බවට මීට පෙර විශ්ලේෂකයින් පවා පෙන්වා දී තිබුණි. රැජිණ සමග මේ ගැන අරගල කරන්නට නව පරම්පරාව හැමවිට උත්සාහ දරා තිබුණි.
මින් ඉහත ඩයනා කුමරිය පවා මේ ගැන අරගල කළ අතර අවසානයේ ඇය පවුලෙන් කොන්වී දික්කසාදය දක්වා තල්ලු කරන්නට එම ගැටලු හේතු විය.