විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් දෙව් සුව සේවා වැඩසටහන පවත්වන දීගොඩ කුමාර නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා. 17 හැවිරිදි  රෝගී දරුවෙකුට විශ්ව ශක්ති වැඩසටහනදී ආහාර දීමෙන් පසු එම දරුවා දැඩිලෙස රෝගාතුර වීමේ
සිද්ධියක් සම්බන්ධයෙනුයි කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා මෙම නියෝගය නිකුත් කළේ.

විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් පසුගිය වසරේ සැප්තැම්බර් 7 වනදා හොරොව්පතාන මහජන ක්‍රීඩා පිටියේදී දීගොඩ කුමාර පැවැත්වූ වැඩසටහනකදී දෙදෙනෙකු
මියගොස් 18 දෙනෙකු අසාධ්‍යතත්ත්වයෙන් රෝහල් ගත කෙරුනා. අම්පාර ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීද ඊට සහභාගී වූ කිහිප දෙනෙකු රෝගාතුර වීමේ තත්ත්වයක් නිසා  එම වැඩසටහන අත්හැර දමන්නට ද සිදුවුණා. ඒ ජනතා විරෝධය හමුවේයි.  මෙම සිද්ධීන් වාර්තා කළ මාධ්‍ය ආයතනවලටද විටින් විට දුරකතන ඇමතුම් මගින් තර්ජන ද එල්ලවුණා. එහෙත් දීගොඩ කුමාර නමැත්තා එම වැඩසටහන් දිගටම පවත්වාගෙන යනු ලැබුවා. ඒ ජනතාව ද විශාල ලෙස රැස් කරමින්.  මෙවැනි තත්ත්වයක් තුළයි පසුගිය වසරේම ඔක්තෝම්බර් 17 වනදා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ද විශ්ව ශක්ති වැඩසටහනක් සංවිධානය කොට තිබුණේ. එහිදී මෙම දරුවා දැඩි ලෙස රෝගාතුර වී ඇත්තේ.

මෙම නඩුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ එම වැඩසටහනේ දී ලබාදුන් ආහාර ගැනීමෙන් අනතුරුව දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි. අසාධ්‍ය තතත්වයේ පසුවූ දරුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි පිළියන්දල පොලිසිය කරුණු දක්වමින්  අධිකරණයට දන්වා සිටියේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් දීගොඩ කුමාර නමැත්තා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදී මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පොලිසියෙන් ප්‍රශ්න කළා. දණ්ඩනීති සංග්‍රහයේ තුන්සියවැනි වගන්තියට අනුව මිනී මැරීමේ චෝදනාව යටතේ ඔහු  වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට නියෝග කළා.