අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. මෙම වැඩසටහන යටතේ  සැම හිමිකම්ලාභියකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩිපතක් නිකුත් කිරීමට නියමිතය.

සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයන්, ස්ථිර රැකියාවක් නොමැති හා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකි නොමැති පවුල්වල ආබාධිතයන්, වැන්දඹු පවුල්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතළ රෝගාබාධවලින් පෙනේනන් සිටින පවුල් මීට හිමිකම් කියයි.

සීනි, තේ, හාල් පිටි, පරිප්පු, කඩල. ලූනු, මිරිස්, කරචල, අල සහ කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිබෝගික භාණ්ඩ සහන මිලකට ලබාදීමට අපේක්ෂා කෙරේ.
ලංකා සතොස, සමූපකාර වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළෙඳ සල් මගින් ආහාර පහසුවෙන් මිලදීගැනීමට මූලික වශයෙන් අවස්ථාව සලසා ඇත.
තෝරාගනු ලබන පහසුකම් අඩු ග්‍රාමීය වෙළෙඳ සල් සඳහා සහන ක්‍රමයකට ශීතකරණ ඇතුළු උපකරණ ලබාගැනීමටද පහසුකම් සැලසීමට නියමිතය.
අදාළ වෙළඳ සල්, ජනාකීර්ණ ප්‍රදේශවලද, අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණ, ග්‍රාමීය පළාත්වල සහ වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වී ඇත.
බලයලත් වෙළෙඳ සල් තෝරාගැනීමේදී කාත්තා ව්‍යවසායකයන්ට ප්‍රමුඛත්වයක් ලබා දෙයි.
මෙමගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් නගා සිටුවීමටද ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.
දේශීය නිෂ්පාදකයන්ට මූලිකත්වය දෙමින් ඔවුන් නිපදවන ඇසුරුම් කළ ආහාර, කුළුබඩු, මස්, මාළු, බිත්තර හා අනෙකුත් ගෘහ අවශයතා අදාළ ව්‍යාපාරිකයන් වෙත අතරමැදියන් තොරව සෘජුවම ලබාදීමට ඒ අනුව ව්‍යාපෘතියෙන් පහසුකම් සැලසෙයි.
වැඩසටහනට සමගාමීව ග්‍රාමීය වතු සහ නාගරික ප්‍රදේශවල ගෘහ ඒකක එක්ලක්ෂ පනස්දහසක් සදහා පානීය ජලය ලබාදීමටත්, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ.
දිළිඳු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ බිම් සවිය සමඟ සම්බන්ධීකරණය කර කෘෂිකර්ම, ව්‍යාපාර සංවර්ධනය සහ නිවාස ව්‍යාපෘති වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනමෙන් ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම කෙරෙහිද ජනාධිපතිවරයා සිය අවධානය යොමුකර තිබේ.