අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ විශේෂ නඩු භාණ්ඩයක් ලෙස තිබිය යුතු සැකකාර ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාගේ නිවසේ සවිකර තිබු සීසීටිවි කැමරා පද්ධතියේ පටිගත කිරීම ඇතුළත් කොටස අපරාධ
පක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් පිරිසක් විසින් ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට ලබාදී ඇති බැවින් එම නඩු භාණ්ඩය ආපසු ලබා දෙන ලෙස නියෝග කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ඉල්ලා සිටියහ.

මවුවරුන්ට වඳ සැත්කම සිදුකළේයැයිද සැකකටයුතු ලෙස අසීමිත ආකාරයට වත්කම් ඉපැයීයැයිද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව විභාග වන නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ නැවත විහාගයට ගත්
අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි විජිත මහතා එම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කළේය.

2019 වසරේ මැයි මස 24 වන දින සැකකටයුතු ආකාරයට අසීමිත ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් කුරුණගල මූලස්ථාන පොලිසියේ අපරාධ පරික්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බවද එහිදී නඩු භාණ්ඩයක් ලෙස සැකකාර වෛද්‍යාවරයාගේ නිවසේ සවිකර තිබූ සීසීටිවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් සහිත කොටස කුරුණෑගල පොලිසිය භාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබූ බවද ඒ මහතා අධිකරණයට දැන්වීය.

පසුව සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් වන වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට පවරා ගැනීමෙන් පසු සියලුම නඩු භාණ්ඩ සමග ලිපි ලේඛන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.  මෙම සීසීටීවී කැමරා පද්ධතියේ පටිගත කිරීම් සහිත උපකරණය මෙම නඩුවට අදාළ ප්‍රධානම සාක්ෂියක්ව තිබියදී මෙම නඩුව මීට පෙර මෙහෙයවූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ
උසස් නිලධාරීන් කීප දෙනෙකුගේ අවශ්‍යතාව මත එම නඩු භාණ්ඩය සැකකාර වෛද්‍යවරයාට ආපසු ලබාදී ඇතැයි ද සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දැන්වීය.

මෙය  කෙසේවත් සිදු නොවිය යුත්තක් බව අවධාරණය කළ එම නිලධාරියා සැකකාර වෛද්‍යවරයා හමුවට පැමිණි සැකකටයුතු පුද්ගලයන් රැසක් පිළිබඳව එම සීසීටීවී කැමරා පද්ධති උපකරණයේ පටිගතව තිබූ බවද අධිකරණයට දැන්වීය. එබැවින් එම නඩු භාණ්ඩය ආපසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස සැකකාර වෛද්‍යවරයාට නියෝග කරන්නැයි සහකාර පොලිස් අධිකාරි විජිත මහතා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතාගෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා මෙම මස 20 වන දිනට පෙර සීසීටීවි කැමරා පද්ධතියේ දෘඪ තැටි කොටස (CPU) වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස
වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතාට නියම කළේය.

-පුෂ්පකුමාර ජයරත්න-