රජය නිවේදනය කර ඇති පරිදි වුහාන්වල සිරවී සිටින සිසුන් ලංකාවට ගෙන්වූ පසු දියතලාවේ ටික කාලයක් රඳවා තැබීමට යෝජනා කර තිබේ.
චීනයේ සිට ශ්‍රී ලංකාවට එන මගීන් සහ චීනයේ අධ්‍යාපනය ලබන සිසුන් කොළඹට හෝ මත්තලට
පැමිණීමෙන් පසු කිලෝමීටර් සිය ගණනක දුරින් රට මැද පිහිටි දියතලාවට රැගෙන එම කුමණ පදනමක් යටතේ සිදුකරන්නේද යන්න තමන්ට සිතාගැනීමට බැරි බවත් තාක්ෂණ කරුණු මත මිස වෙනත් කරුණු සලකා මෙවැනි තීන්දු නොගැනිය යුතු බවත් බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ
සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ (28) හවස බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයකු දියතලාවට රැගෙන ඒමෙන් පසු රෝගී තත්ත්වයකට පත්වුවහොත් එම රෝග පරික්ෂා කිරිම සඳහා පහසුකම් මෙම ප්‍රදේශයේ ඇති විශාලතම රෝහල වන බදුල්ල පළාත් මහ රෝහලටවත් නොමැති බවත් එවැනි තත්වයක් මත එම රෝගියා පරික්ෂණ කටයුතු වෙනුවෙන් නැවතත් කොළඹට රැගෙන යාමේදී ගැටලු රාශියකට මුහුණදීමට සිදුවන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

දියතලාව යුද හමුදා කඳවුර යුද හමුදා නිලධාරීන් සිටින ස්ථානයක් වුවද එම ස්ථානයේ සිටින
වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලය මෙවැනි වසංගතයක් පැතිරීයාම නතර කරළීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් එමෙන්ම මෙම යුද හමුදා කඳවුර අවට නිරෝගී ජනතාවක් වෙසෙන අතර මෙවැනි වෛරසයක් ආසාධිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට රැගෙනවිත් තවත් ගැටලුවක් ඇතිකිරීම වැළැක්වීමට බලධාරීන් නිසි තීන්දු තීරණ ගත යුතු බවත් බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

-ඩී.කේ.රත්න-