මහා පරිමාණ මගී බස් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිදු කරන බලපත්‍ර ජාවාරම් සහ කාලසටහන් ජාවාරම් ඉතා උග්‍ර මට්ටමට ක්‍රියාත්මක බවත් ඒ නිසා බස්රථ කිහිපයක් පමණක් හිමි කුඩා බස් හිමියන්ට ගැටලු රාශියක් ඇති වී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි. මේ නිසා ව්‍යාපරිකයකු සතුව බස්රථ
දහයක් පමණක් හා සමාගමක් සතුව බස්රථ 15ක් පමණක් තබාගත හැකි ආකාරයට නීති සකස් කරන ලෙස අද (08දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මාර්ග බලපත්‍ර ජාවාරම් හා කාලසටහන්
ජාවාරම් නිසා ගෙවීගිය දශකය තුළ බස් කර්මාන්තයට අලුතින් පිරිස් එකතු වීම ඉතාමත් අල්ප වශයෙන් සිදුව තිබෙන්න බවත්, අලුත් පිරිස් ක්ෂේත්‍රයට නොපමිණිම නිසා බස් කර්මාන්තය දියුණු කිරීමට නොහැකි වී තිබෙන බවත් ඔහු කියා සිටියේය. මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු මගී ප්‍රවාහන සේවාවට විශාල බස් රථ ප්‍රමාණයක් එක්කර තිබෙන බවත්, ඒ හරහා මාර්ග බලපත්‍ර ජාවාරම් හා කාලසටහන් ජාවාරම් සිදුව තිබෙන බවත් කී ඒ මහතා ඒ හරහා බස් ඒකාධිකාරයක් නිර්මාණය වී තිබෙන බවද පවසා සිටියේය.

මේ නිසා අලුතින් මෙවැනි ඒකාධිකාරීත්ව යක් ඇතිවීම හරහා බස් කර්මාත්තය මාෆියාවක් බවට පත්විය හැකි හෙයින් මින් ඉදිරියට එක් පුද්ගලයෙකු සතුව හා සමාගමක් සතුව තබාගත හැකි මගී බස්රථ ප්‍රමාණය සීමා කළ යුතු බවද හෙතෙම කියා සිටියේය. බලපත්‍ර ජාවාරම් නිසා බස් කර්මාන්තයට කිසිවකුට අලුතින් එක්වීමට නොහැකි වී තිබෙන බවත්, කාලසටහන් ජාවාරම් ක්‍රියා නිසා බස්රථ අතර තරගයක් නිර්මාණය වී බස් රථ කිහිපයක් පමණක් තිබෙන බස් හිමියන්ට දෛනික ආදායම නිසි ලෙස ලබාගැනීමට නොහැකි වී තිබෙන බවත් ගැමුණු විජේරත්න මහතා කියා ද සිටියේය.