ලොව සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයොටා සමාගම එරට 'අනාගතයේ නගරය' ඉදිකිරීම සඳහා කටයුතු සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි. පසුගියදා එක්සත් ජනපදයේ ලාස් වේගාස්
නුවරදී පැවැත්වුණු කන්සියුමර් ඉලෙක්ට්‍රොනික් ෂෝ වැඩසටහනේදී ටොයොටා මෝටර් කෝපරේෂන්හි සභාපතිවරයා මෙම කරුණු මුලින්ම අනාවරණය කර තිබේ. ඒ අනුව ජපානයේ සුප්‍රසිද්ධ ෆූජී ගිනිකන්ද පාමුල මේ නගරය ඉදිකිරීම සැලසුම වී තිබේ.

මෙම නගරය ඉදිකිරීම සිය අනාගත මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හා සමගාමීව සිදු කිරීමත් ටොයොටාහි අපේක්ෂාවයි. මෙය 'Woven City" හෙවත් "වියනලද නගරය" ලෙස නම් කර තිබ්බේ. ඒ අනුව මෙම නගරය තුළ සුහුරු නිවාස ඉදි කෙරෙන අතර ඒවා එකිනෙක සම්බන්ධ කෙරී පවතී. එසේම කෘත්‍රිම බුද්ධිය සහ තවත්
නවීන තාක්ෂණික අංග රැසක්ම මෙම නගරය තුළට එක් කෙරේ. එහි ධාවනය කෙරෙන්නේ හයිඩ්‍රජන් බැටරි බයෙන් ක්‍රියාත්මක වන ස්වයං ධාවක මෝටර්රථ පමණකි.

විශේෂයෙන්ම දැනට ඇති සාම්ප්‍රදායික ගොඩනැගිලි සහ මෝටර් රථ නිසා සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළයාමත් හරහා සිදුවන දේශගුණික විපර්යාස මැඩපැවැත්වීම සඳහා ගත හැකි අනාගත විසඳුම් පිළිබදව මේ වනවිටත් ලොව තුළ අවධානය යොමුව ඇත. විශේෂයෙන්ම එදිනෙදා කටයුතු සදහා අත්තර්ජාලය භාවිතා කිරීම හරහා මෙම පරිසර හානිය අවම කරගැනීම පිළිබඳවද කතාබහ ඇතිව තිබේ. ඒ අනුව ෆූජී ගිනිකන්ද පාමුල පිහිටි අක්කර 175ක එනම් හෙක්ටයාර 71ක් පමණ වන භූමියක මෙම නගරය ඉදිකෙරේ.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල මෙතෙක් අනාවරණය කර නැත. ටොයොටා සමාගමට අනුව මෙම නගරය තුළ 2,000කට ආසන්න පිරිසකට ජීවත්විය හැකිය. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීම සැලසුම වී තිබේ. එහිදී නෙදර්ලත්ත ගෘහනිර්මාණ ශිල්පී බිජාර්ක් ඉන්ග්ලස්ගේ නිර්මාණයකට අනුව එය ඉදී කෙරේ. නිවියෝක් නුවර අලුතින් ඉදිවන ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සහ ලන්ඩන් නුවර සහ සිලිකන්වැලිහි ඉදි කෙරෙන ගූගල් සමාගම් කාර්යාල නිර්මාණය කර ඇත්තෙද ඔහු අතිනි.