අසර්බයිජාන් රාජ්‍යයේදී නේවාසිකාගාරයක ඇති වූ ගින්නෙන් විෂ දුම ආග්‍රහණය වීමෙන් මියගිය සිසුවියන් තිදෙනාගේ සිරුරු පෙරේදා (15දා) උදෑසන කටාර් ගුවන් යානයකින් දිවයිනට රැගෙනවිත් තිබුණි.

මෙම දේහයන් අසර්බයිජාන් රාජ්‍යයේ සිට මෙරටට ගෙනිවීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් රජය රුපියල් ලක්ෂ 15 පමණ මුදලක් වැයකර තිබේ. මෙහිදී මියගිය එකම පවුලේ සොයුරියන් දෙදෙනා වන මර්ෂා සංදීපනි (24) හා තාරුකී අමායාගේ
(21) දේහයන් ඊයේ (16දා) අලුයම පිළියන්දල, බෝකුන්දර, මහවත්තේ පිහිටි ඔවුන් පදිංචිව සිටි නිවස වෙත ගෙන එනු ලැබූ අතර, සිද්ධියෙන් මියගිය අනෙක් සිසුවිය වන කඩුවල, බෝමිරිය, දහම් පාසල් මාවතේ පදිංචි අමෝද්‍යා මධුහංසි (25) සිසුවියන්ගේ දේහය පෙරේදා (15දා) රාත්‍රියේදී ඇගේ නිවසට රැගෙන ආවේය.

එකම පවුලේ සහෝදරියන් දෙදෙනාගේ දේහයක් අවසන් කටයුතු අද (17දා) පිළියන්දල, වෑවල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

මියගිය අනෙක් සිසුවිය වන අමෝද්‍යා මධුහංසිගේ දේහයේ අවසන් කටයුතු හෙට (18දා) සවස  ඉහළ බෝමිරිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

 බණ්ඩාරගම - නිමල් ශ්‍යාමන් / මත්තෙගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න