ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන අයිතිය සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් හදිසි විධායක කමිටු රැස්වීමක් අද (17දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව විධායක කමිටු සාමාජිකයකු  පැවසුවේය.

මෙම හදිසි විශේෂ විධායක කමිටු රැස්වීම ඊයේ (16දා) පැවැත්වීමට සැලසුම් කර තිබුණු අතර, පසුව කමිටු සාමාජිකයන්ට දන්වා ඇත්තේ එය අද දිනයේ පවත්වන බවයි.

කෙසේ වෙතත් මෙම හදිසි විශේෂ විධායක කමිටු රැස්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකමිවරයා,
උපසභාපතිවරයකු සහ ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයාද සහභාගී නොවන බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවන් ගිවිසුම්ගත වීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා (14දා) ඩුබායිහිදී පැවැත්වුණු අතර, එම සාකච්ඡාව එලඹෙන 18දා දක්වා පැවැත්වීමට නියමිතව. තිබුණත් ඊට සහභාගී වූ ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු කිහිපදෙනෙක් මෙම හදිසි විධායක කමිටු සාකච්ඡාව නිසා මෙරටට පැමිණ තිබේ. ඒ අතර, ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතාද වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා ඩුබායිහි පැවැති වීශේෂ සාකච්ඡාවට පිටතිව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවින් වික්‍රමරත්න මහතා බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට ගොස් ඇතැයි වාර්තා වන අතර, ඒ හේතුව නිසා අද පැවැත්වෙන හදිසි විධායක කමිටු රැස්වීමට ඔහු සහභාගි නොවන බව වාර්තා වේ.

එමෙන්ම පසුගිය සති කිහිපය විදෙස්ගතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයාද තවත් දින 05ක නිවාඩුවක්  ලබාගෙන ඇති බව සැලවන අතර, ඒ හේතුවෙන් ඔහුද මේ හදිසි විධායක කමිටු රැස්වීමට සහභාගී නොවන බව වාර්තා වේ.

මීට අමතරව පසුගිය කාලය පුරාම ශ්‍රී ලාංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයා වන කේ. පී. සිරිබද්දන මහතාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මාරුකර යවා ඇති අතර, ඒ හේතුවෙන් මෙම විධායක කමිටු රැස්වීම අමාත්‍යාංශ නියෝඡිතයකු නොමැතිව පැවැත්වෙන බව අනාවරණය වේ.

පැතුම් ශ්‍රී විජේරත්න