අම්පාර, උහන පොලිස් වසමේ විදුහලක සිසුවියන් සිවු දෙනකු ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උහන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු වෛද්‍යවරයකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබිමට
අම්පාර මහේස්ත්‍රාත් අසංගා හෙට්ටියාවත්ත මෙනෙවිය ඊයේ (07) නියෝග කළාය. මෙසේ රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ අම්පාර, ගොනාගොල්ල, සෙනරත්පුර ප්‍රාදේශිය රෝහලේ ඩබ්ලිව්. ඒ. ටිලාන් ලලන්ත ප්‍රනාන්දු (46) නමැති වෛද්‍යවරයෙකි.

විද්‍යාලයේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ

මැරතන් තරගයකට සහභාගිවීමට නියමිකව සිටි සිසුවියන් 30 දෙනකු එම තරගයට සහභාගිවීමට පෙර  දිනයේ (06) යෝග්‍යතා වෛද්‍ය සහතික ලබාගැනීමට ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලට අවස්ථාවේදි ඔවුන් අතුරින් සිවු දෙනකු මෙසේ අතවරයට ලක්වී ඇති බව උහන පොලිසිය කියයි. අතවරයට ලක්වූ බව කියන සිසුවියන් මේ පිළිබඳව විදුහලේ ගුරුවරියන්ට පවසා සිය මවුපියන්ද සමඟ පෙරේදා උහන පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

උහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිමල් කරුණාරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ලැබුණු පැමිණිලි අනුව රෝහලට ගොස් වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් සහ උහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිමල් කරුණාරත්න යන මහත්වරු සිද්ධිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ. සැකකාර වෛද්‍යවරයා ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කළ අම්පාර මහේස්ත්‍රාත් අසංගා හෙට්ටියාවත්ත මහත්මිය මෙම පැමිණිලි එදිනට යළි කැඳවීමට ද නියම කළාය.

-වසන්ත චන්ද්‍රපාල-