හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය සුහ අනුමැතිය මත තමා ඝාතනය කිරිමට රන්ජන් රාමනායක මහතා කළ කුමන්ත්‍රණයක් පිළිබදව ඔහුගේ හඩපටවලින් කරුණු අනාවරණය වී ඇති හෙයින් ඒ
පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලා සිටියේය. වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් එම ඉල්ලීම් කළ රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මැතිතුමාත් අතර සිදුකළ දුරකතන සංචාදයක තැටියක් එළියට ඇවිත් තියෙනවා. ඒහිදී රන්ජන් රාමනායක මැතිතුමා කියනවා මහින්දානන්ද අලුත්ගමගේට වෙඩි තියන්න තමයි මම මේ පුහුණු වෙන්නේ. ඔබතුමා මට ඒක කරන්න කියල තියෙනවා. ඒක කරන්න ඉදිරි කාලයේදී මම කටයුතු කරනවා කියලා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඔබේ හඩපටය සම්පුර්ණයෙන්ම සමාජ මාධ්‍යවල තියෙනවා.

රන්ජන් රාමනායක මැතිතුමා මට වෙඩි තියන්න මාව ඝාතනය කරන්න අගමැතිතුමාගේ ආශිර්වාදය ඉල්ලනවා.  ඒ සඳහා අගමැතිවරයාගෙන් අනුමැතිය ඉල්ලනවා. අගමැතිනමා  අනුමැතිය දෙනවා. සියලු කාරණා එතුමාගේ කටහඩින් තියෙනවා. මට මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරිම සදහා අගමැතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක් කුමන්ත්‍රණය කරනවා. 2016 පෙබරවාරි මාසයේ දිනෙක රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මාදිලවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවසේයේදි තමන්මගේ  ගිනි අවියෙන් වෙඩි තියන්න පුරුදුවෙනවා.  මේ වෙඩි තියන්න පුරුදුවීම ගැන පාර්ලිමේන්තුවේදී පද්ම උදය ශාන්ත මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් අහනවා. එකේදි අගමැතිතුමා දුන්න උත්තරය මා ළග තියෙනවා. එකේ සඳහන් වෙන්නේ එතුමා වෙඩි තියන්න පුරුදු වෙනවා කියලා.

අගමැතිවරයා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට උපදෙස් දෙනවා. වැරදීමකින් ගිනි අවිය පත්තුවුණා කියලා ලපොලිසියට කියන්න කියලා.  මහින්දානන්දට වෙඩි තියන්න පුහුණුවිමේදී සිදුවුණු වැරැද්ද නිවැරදි කරන්න උපදෙස් දෙන්නේ අගමැතිතුමායි. ඒ වගේම එතුමා ඒ හඬ පටියේ කියනවා පොලිස්පතිතුමා මාව බේරා ගත්තා කියල ඔබතුමා පොලිස්පතිතුමාට කියපු නිසා පොලිස්පතිතුමා මාව බේරා ගත්තා කියලා. අපි පාර්ලිමේන්තුවේදි තමුන්නාන්සේලාගේ දූෂණ පිළිබඳව බැඳුම්කර පිළිබඳව කතා කළා. ඒක මන්ත්‍රීවරයකුට තියෙන අයිතියක්.

එහෙම කතා කරන මන්ත්‍රීවරුන්ව මරන්න අගමැතිතුමා කුමන්ත්‍රණය කරනවා නම් ඒ සඳහා නියෝජ්‍ය ඇමැතිවරුන්ට උපදෙස් දෙනවා නම් ගිනි අවි භාවිතා කරන අවස්ථාව දෙනවා නම් මේ පර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුගේ ඇමැතිවරුන්ගේ තත්ත්වය මොකක්ද?මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරන කොට මරනවා නම් මන්ත්‍රීවරයකුට කතා කරන්න අයිතියක් නැත්නම් මොකද්ද පාර්ලිමේන්තුවේ තත්වය?  රන්ජන් මේක කිව්ව නම් ප්‍රශ්නයක් නැහැ. ඔහු ලංකාදිප පත්‍රයට කියල තියෙනවා ඕනැ ගොන් වැඩක් කරනවා කියලා. අපි රන්ජන් රාමනායක මහත්තයා ගැන පුදුම වෙන්නේ නැහැ.ඔහු ඕනෑ ගොන් වැඩක් කරන නිසා.

හැබැයි රටේ අගමැතිවරයා එහෙම කරනවා නම් මොකද්ද කතානායකතුමනි මේ රටේ තත්වය? ඔබතුම මේ උත්තරිතර පාර්ලිමේන්තුවේ කතානායකතුමා. ඔබතුමාටයි අපට මේක කියන්න තියෙන්නේ. අපට පුළුවන් මේ ගැන පොලිසියට සි.අයි.ඩි.යට යන්න. විපක්ෂයේ මන්ත්‍රීවරයකු ආණ්ඩුව විවේචනය කරන විට ඔහු මරන්න උපදෙස් දෙනවා නම් මොකද්ද මේ පාර්ලිමෙන්තුවේ තත්ත්වය? මෙකද ප්‍රජාතන්ත්‍රවාදය? විපක්ෂනායකතුමා මේ ගැන ප්‍රකාශයක් කරන්න. හිටපු අගමැතිතුමා මේතැන නැහැ. ඒ නිසා ඔබතුමා ප්‍රකාශයක් කරන්න.
මේ මන්ත්‍රීවරයා ගැන ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය කියන්න. දැන් එතුමාගේ කට හඩ පට එක් ලක්ෂ විසිතුන් දාහක් එළියට ඇවිල්ලා දැනට පහයි එළියට ආවේ.

අධිකරණයේ විනිසුරුවරුන්ට, පොලිසියට එෆ්.සී.අයි.ඩී.යට කතා  කළ එවා මෙවායේ තියෙනවා. හිටපු අධිකරණ ඇමති විජයදාස රාපක්ෂ මහතා ඇමැති ධුරයෙන් එළියට යනවිට මුළු කතාව කිව්වා. මේ පිළිබඳ වේදනාව තියෙන්නේ මට. මරණ තර්ජන තියෙන්නේ මට. රන්ජන් ගොන් වැඩ කරන්නේ අගමැතිතුමාගේ ආශිර්වාදයෙන්. මේ සඳහා ඒ ආණ්ඩුවේ සියලු කැබිනට් ඇමැතිවරුන් වග කියන්න ඕනෑ. එයාලා මේ ගැන දන්නේ නැතුව නොවෙයි. අරලියගහ මන්දිරයේදි මේගැන ප්‍රගති සමාලෝචනය කර තිබෙනවා පසුගිය ආණ්ඩුව විවේචනය කළ මන්ත්‍රීවරුන් මරන්න. හිරේ දාන්න මේ අය කතා කර තියෙනවා.මගේ මේ වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ කටයුතු කරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. හෙට මම මේ ගැන නීතිමය කටයුතු කරනවා. හෙට මම මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කරනවා.

කතානායක කරු ජයසුරිය මහතා - මා මේ ගැන අවධානය යොමු  කරනවා. මේ ගැන විවාදයක් අවශ්‍ය නැහැ. වෙනම කතා කරන්න පුළුවන්.

රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා - මට පාර්ලිමේන්තු මහ ලේකම්තුමා බලපත්‍රයක් සමග තුවක්කුවක් නිකුත් කර තිබෙනවා. පිසතෝලයකට අපට ලබා දෙන්නේ උණ්ඩ 10යි. රිවෝල්වරයක් නම් උණ්ඩ 9යි. එක මන්ත්‍රීවරයකුට පමණක් උණ්ඩ 150ක් මහලේකම්තුමා නිකුත් කළාද කියා දන්නේ නැහැ. රන්ජන් රාමනායක මැතිතුමාට අපට වඩා වැඩි සැලකිල්ලක් දක්වලා උණ්ඩ නිකුත් කළේ කොහොමද ඒ ගැන පරික්ෂණයක් කරන්න.

කතානායක- ඒක මහලේකම්තුමා නෙවෙයි ආරක්ෂක අමාත්‍යාංශය කරන දෙයක්.

-ආරියරත්න රණබාහු-


රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්