ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙළපාළියට සහභාගිවන පිරිස මෙවර සියයට තිහකින් පමණ අඩු කිරීමට රජය තීරණය කර ඇත. ජාතික නිදහස් දින උත්සවයේ තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක්
යොදා ගැනීම කෙරෙහිද රජයේ අචධානය යොමුව තිබේ. සුරක්‍ෂිත දේශයක්  සෞභාග්‍යවත් රටක් තේමාව යටතේ 72 ජාතික නිදහස් දින සැමරුම පැවැත්වීමට ද ඒ සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර ඇත. ජාතික දින උත්සවයේ සූදානම පිළිබද සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද
රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (3) අරලිය ගහ මන්දිරයේදී පැවැති අතර එහිදී මෙම තීරණ ගෙන තිබේ.

මහජනතාවට බාධා නොවන අයුරින් උත්සව භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම, රථවාහන හැසිරවීම මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු සිදුකිරීම කෙරෙහි සියලුම දෙනාගේ අවධානය යොමු විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අදාළ අංශවලට උපදෙස් දී ඇත. ජාතික දිනයදා සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රටපුරා සෑම නිවසකම එකම මොහොතකදී පැළයක් රෝපණය කිරීමටත් පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී ඇත. තම ජීවිතය නොතකා අනෙක් අයගේ ජීවිත බේරාගත් අයගේ එකතුවක් වන වීර පොදුජන පදනමද ජාතික දින පෙළපාළියට එක්වීමට අවසර ඉල්ලා තිබූ අතර එම ඉල්ලීමට අවසර දීමටද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ යන මහත්වරුන් ද ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

-නාලක සංජීව දහනායක-