රියැදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය වෛද්‍ය චාරිකා නිකුත් කිරිමට අවිස්සාවේල්ල, දඹුල්ල හා මීගමුව යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල තුනක් අලුතින් පිහිටුවීමට ජාතික ප්‍රවාහන  වෛද්‍ය ආයතනය තීරණය කර තිබේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් වෛද්‍ය
වාර්තා ලබාගැනීමේ දී මතුව ඇති තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර ලබාදුන් උපදෙස් අනුව මෙම ප්‍රාදේශීය කාර්යාල තුන ස්ථාපිත කරනු ඇත. ඒ අනුව රත්නපුර, බණ්ඩාරවෙල, නුවරඑළිය
යන ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අවිස්සාවේල්ල ප්‍රාදේශීය කාර්යාලයද, උතුර, නැගෙනහිර හා උතුරුමැද පළාතේ ජනතාව සඳහා දඹුල්ල කාර්යාලය ද, වයඹ, ගම්පහ හා ඊට ආසන්න ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් මීගමුව කාර්යාලයද පිහිටුවන බව ජාතික ප්‍රවාහනය
වෛද්‍ය ආයතනය පවසයි.

මෙයට අමතරව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කර නිකුත් කිරිමේ පහසුකම් සහිත කාර්යාලයක් අනුරාධපුරයේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රාදේශීය කාර්යාල තුන පිහිටුවීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙය ද දැනුම් දී තිබේ. රියැදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් හා වෙහෙසක් දරමින් ජනතාව කොළඹට පැමිණීම වළක්වා ඔවුන්ට පහසුවෙන් රියැදුරු බලපත්‍රය හා වෛද්‍ය වාර්තා ලබාගත හැකි වන පරිදි පහසුකම් සැලසීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද අමාත්‍යවරයා පවසයි.

-මහින්ද නිශ්ශංක-