12 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් 65 හැවිරිදි පුද්ගලයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය පවසයි. මෙම දැරිය අපයෝජනයට ලක් කළ තවත් දෙදෙනකු සිය නිවෙස්වලින් පලා ගොස් ඇති අතර ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන
කටයුතු ආරම්හ කළ බවද වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.දැරිය අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටින පස් දෙනාම විවාහකයන් වන අතර ඔවුහු ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයේ ඉබ්බාගමුව, තලහින්න ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

පසුගිය මාසයක පමණ කාලය තුළ
මෙම පස් දෙනා වරින් වර මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බව දැරියගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. මෙම චූදිතයන් සියලුම දෙනා දැරියගේ නිවෙස අවට පදිංචිකරුවන් වන අතර දැරිය මේ වනවිට පාසලේ 8 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටින්නීය. දැරියගේ මව ස්නායු රෝගයකට ගොදුරුව වසර 10ක පමණ කාලයක සිට එක්තැන්ව සිටින අතර දැරිය පියා හා මව සමග නිවසේ පදිංචිව සිටී.

ඇයට වැඩිමහල් සොයුරියන් දෙදෙනකු ද සිටින අතර ඔවුන් විවාහ වී දුර ප්‍රදේශවල සිටින බැවින් නිවෙස තුළ පවතින අනාරක්ෂිත බව හේතුවෙන් ඇය මෙලෙස මෙම අපරාධකරුවගේ ගොදුරක් බවට පත්ව ඇති බව පොලිසිය පවසයි.දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ මේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද අතර ඇය අපයෝජනයට ලක්ව ඇති බව වෛද්‍ය පරික්ෂණයේදී තහවුරු වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර සෙසු සැකකරුවන් අත්ඩංගුවට ගැනීමට පරික්ෂණ සිදු කෙරෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කරයි.

-සුනිල් කහගල්ල-