රජයේ රැකියා සඳහා අඩුආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් තෝරා ගැනීම සම්මුඛ පරීක්‍ෂණ ලබන මස 26 වැනිදා සිට දින පහක කාලයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී හා වෙනත් පොදු ස්ථානවලදී පවත්වන බව
ජනාධිපති ලේකම් කාර්යාලය සිඳහන් කරයි.අදාළ සම්මුඛ පරීක්‍ෂණය බහුකාර්ය සංවර්ධන කාර්ය බළකාය විසින් පවත්වනු ලබන අතර අයදුම්කරුවන් ග්‍රාම  නිලධරීවරයාගේ සහතික හා වෙනත්  ලියකියවිලි සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපති කාර්යාලය කියයි.

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා ලබාගැනීම සඳහා වන අයදුම්පත්‍ර පසුගිය 20 වැනිදා
පුවත්පත්වල පළවූ අතර ඒ අනුව සම්පූර්ණ කළ අයදුම්පත් ලබන මස 15 වැනිදාට පෙර ග්‍රාම නිලධාරිවරුන්ට බාරදිය යුතු බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.ඒ අනුව ග්‍රාම නිලධාරිවරයා විසින් සහතික  කරන ලද අයදුම්පත් ලබන මස 20 වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාට බාරදිය යුතු බව ද එහි සඳහන් වේ.

ග්‍රාම නිලධාරිවරයා විසින් අයදුම්පන සහතික කිරීම සඳහා තොරතුරු නහවුරු කිරීමේදී සමෘද්ධි නිලධාරීන්,  පූජකවරුන් කොට්ඨාස බාර මහජන නියෝජිතයන්ගෙන් කරුණු විමසිය යුතු අතර යම් හෙයකින් වැරදි තොරතුරු බව තහවුරු වුවහොත් ඔහුගේ රැකියාව අත්හිටුවීම ඇතුළු විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවද එහි සඳහන් කර ඇත.

ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරින් විසින් දෙනු තොරතුරු මනා ලෙස ලේඛනගන කිරීම ලබන මස 25 වැනිදාට පෙර සිදුකළ යුතු අතර එම කටයුතු අධීක්‍ෂණය කරමින් රැකියා කළහැකි දිළිදුම පවුලට මුල්තැන ලැබෙන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ. තෝරාගන් අයදුම්කරුවන්ට බහුකාර්ය  සංවර්ධන බළකායේ පුහුණුවීමේ පත්වීම් ලිපිය  ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදෙනු ලබන අතර පුහුණුවීම මාර්තු මස 02  වැනිදා ආරම්භ වේ.

පුහුණු කාලය තුළදී ඔවුන්ට මසකට රුපියල් 22,500ක දීමනාවක් ගෙවනු ලබන අතර ඔවුන්ට ඔක්තෝබර් මස 1 වැනිදා සිට රජයේ ස්ථාවර පත්වීම් හිමිවන  අතර විශ්‍රාම වැටුපටද හිමිකම් කියන බව එහි සඳහන් වේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18-45 අතර රැකියා විරහිත පිරිස් මෙම වැඩසටහනට බඳවා ගනු ලබන අතර, වෘත්තිය පුහුණුව ලබාදීමෙන් පසුව ඔවුන් සේවයේ ස්ථිර කරනු ලබන බවද එහි සඳහන් වේ.