ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය ඇතුළු වුවහොත් රෝගී සත්කාර සේවාවන් සඳහා රෝහල් 12ක් සූදානම් කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි සෞඛ්‍ය හා දේශීය ​වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (27 වැනිදා) පස්වරුවේ දන්වා සිටියාය.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ ජාතික ක්‍රියාකාරී කමිටුවේ ප්‍රථම රැස්වීම මෙහිදී පැවැත්වුණ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට අතරව මීගමුව, ගම්පහ, මහනුවර, කළුබෝවිල, කරාපිටිය, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල, රත්නපුර, බදුල්ල සහ මඩකලපුව මහ රෝහල් සූදානම් කර තැබීමට මෙහිදී තීරණය කර ඇත.

කිසියම් රෝගියකු හමු වුවහොත් මෙම රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පරිසරය කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරිය රෝහල් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබේ.

රෝගීන් පරීක්ෂා කිරීමට, හඳුනාගැනීමට, අවශ්‍ය උපකරණ ලබාදීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවසුවා. රෝගීන් පරීක්ෂාවට ලක් කරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද තීරණය වී ඇත.