වතුකම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික වැටුප් වැඩිවීමක් ලබාදිය නොහැකි බව වතු වැවිලිකරුවන්ගේ සංගමය ආණ්ඩුවට ඊයේ (20 ) දැනුම් දී තිබෙනවා.

වතුයායවල ඵලදායීතාව වැඩිවීම මත පදනම් වන වැටුප් වැඩිවීමක් ලබාදිය හැකි බව එම සංගමය පෙන්වාදී තිබුණා.

වතු වැවිලිකරුවන්ගේ සංගමය, ලංකා සේව්‍ය සම්මේලනය සහ විධායක නිලධාරීන් සමග වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර යන අය
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී ඊයේ (20 ) සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

එහිදී මෙම දැනුම්දීම සිදුකළ බව ලංකා සේව්‍ය සම්මේලනයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් සිල්වා මහතා සඳහන් කළා.

ලංකා සේව්‍ය සම්මේලනය සහ වතු වෘත්තීය සමිති අතර 2019 වර්ෂයේ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව දෛනිකව වතු කම්කරුවන්ට රුපියල් 750ක වැටුපක් ලැබෙයි.

නමුත් වර්තමානයේ නිෂ්පාදන වියදම සහ තේ අලෙවිය වැඩිවීම පහත වැටීම මත රුපියල් 1000ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව වතු වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී සංඛ්‍යාලේඛන මගින් වැටුප් වැඩිවීම, තේ නිෂ්පාදනය සහ මුහුණදී ඇති ගැටලු පිළිබඳව වතු වැවිලිකරුවන්ගේ සංගමය කරුණු පැහැදිලිකර ඇති අතර වතු වැවිලිකරුවන්ගේ සංගමයට, වතු වෘත්තීය සමිතිවලට පාඩුවක් නොවන අයුරින් මෙම වැටුප් වැඩිවීම වතු කම්කරුවන්ට ලබාදීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ඇමැති රමේෂ් පතිරණ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.