රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයයන් හා කාර්යයන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් ඇමැතිවරුන් අටදෙනකු පමණක්
ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් ගැසට් නිවේදන මගින් පවරා ඇති බවත් ඒ අනුව මේ වනවිට විෂයන් හා කාර්යන් පවරා ඇත්තේ රාජ්‍ය ඇමැතිවරුන් 19 දෙනකුට පමණක් බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග,
වෛද්‍ය රමේෂ් පතිරණ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, නිමල් සිරීපාල ද සිල්වා, ජනක බණ්ඩාර තෙන්නකෝන් යන කැබිනට් ඇමැතිවරුන් සහ පවිත්‍රා වන්නිආරච්චි කැබිනට් ඇමැතිවරිය, ඔවුන්  යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයය හා කාර්යයන් පවරා ඇත. ඒ අනුව විෂයන් හා කාර්යයන් පැවැරී ඇති රාජ්‍ය ඇමැතිවරුන් වන් ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, වාසුදේ නානායක්කාර, ගාමිණි ලොකුගේ, ශෙහාන් සේමසිංහ,ඉන්දික අනුරුද්ධ, දුමින්ද දිසානායක, රංජිත්  සියඹලාපිටිය, කෙහෙලිය රඹුක්වැල්ල, අරුන්දික ප්‍රනාන්දු, කාංචන විජේසේකර, ජානක වක්කුඹුර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන,  තිලංග සුමතිපාල, දිලුම් අමුණුගම, සී.බී. රත්නායක, මොහාන් පී ද සිල්වා, මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න සහ විජිත බේරුගොඩ යන මහත්වරුය.

රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යයන් පවරා දෙන ලෙස දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. එම චක්‍රලේඛය නිකුත් කර මාසයකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් විෂයන් හා කාර්යන් පවරා දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරුන් 19 දෙනකුට පමණක් බව පැවැසේ.

-අජන්ත කුමාර අගලකඩ-