හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් ලක්ෂයකට අධික හඩපට සංඛ්‍යාව විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධික්ෂණය හා උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්ඩායම් පත්කර ඇති බව පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසිය.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් හා විශේෂ ඒකකවලට අයත් පරික්ෂණ
ශ්‍රේණියේ නිලධාරින් මෙම කණ්ඩායම් සඳහා පත්කර ඇති බවත් එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරිවරයකු, ස්ථානාධිපතිවරයකු ඇතුළු
සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව එම උසස් පොලිස් නිලධාරියා පැවසිය.

රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති මෙම හඬපවල පිටපත් පොලිසිය වෙත ලැබුණු පසු මමම විශේෂ පොලිස් කණ්ඩායම වෙන් වෙන් වශයෙන් විශේෂණය කරන බවද එම උසස් නිලධාරියා කීය.

මේ සඳහා පරිගණක ඇතුළු යටිතල පහසුකම් ලබා දී ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය මේ සඳහා ලබා ගන්නා බවද පොලිසිය කියයි.

මෙම හඩපට විශ්ලේෂණය කර රන්ජන් රාමනායක මහතා අධිකරණයට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ පරික්ෂණවලට සිදුකර ඇති බලපෑමෙ සම්බන්ධයෙන් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ඉන්දිකා රාමනායක