https://www.gossiplankanews.com/2020/01/10-month-prison-hingurakgoda-prasad.html
පොලිසිය තමන් සතුව තිබු සෙල්ලම් පිස්තෝලයක් අත්අඩංගුවට ගෙන එය විදේශයක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් බව පවසා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඒ පිළිබඳ රජයේ රස පරික්ෂක වාර්තාව එනතුරු මාස 10 ක් සිරගතව සිටීමට සිදු වු බව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රසාද් කුමාර නමැති දෙදරු පියෙකු චෝදනා කර තිබේ.
හිඟුරක්ගොඩ, පිංපාර ප්‍රදේශවාසියෙක්  වන කේ.පී. ප්‍රසාද් කුමාර නමැති තිස් හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු මෙසේ බන්ධනාගාර ගතව ඇත්තේ
හිඟුරක්ගොඩ පොලිසිය ඔහුව සැක පිට අත්අඩංගුවට ගැනීමෙන් පසුය.
සෙල්ලම් පිස්තෝලය හේතුවෙන් වසරකට ආසන්න කාලයක් සිරගතව සිටි කේ.පී. ප්‍රසිද් කුමාර මහතා එම සිද්ධිය පිළිබඳව මෙසේ පැවැසීය.

"මුලින්ම කියලා ඉන්න ඕන මේ සෙල්ලම් පිස්තෝලය ස්වයංක්‍රීය ගිනිඅවියක් යැයි කීම නිසා මාගේ රැකියාවත් මාගේ අයියගේ රැකියාවක් අහිමි වුණා. අපේ අමු දරුවන් අද දහදුක් විඳිනවා. අපි පාතාලේ කියලා අයියාගේ රැකියාව ඒ ආයනතනයේ අය අහිමි කළා. මගේ රැකියාව කොහොමත් නැති වුණා මං හිරේ ගියාට පස්සේ. ගිය අවුරුද්දේ පෙබරවාරි 12 වැනිදා එකපාරටම

හිඟුරක්ගොඩ පොලිසියෙන් ගෙදරට පැනලා පිස්ටල් එකක් තියෙනවා ගනින් ඒක කීවා. මං කිව්වා එහෙම එකක් නෑ කියලා. පස්සේ මුළු ගෙදරම හොයලා අල්මාරියේ තිබුණ මේ සෙල්ලම් පිස්තෝලය ගත්තා. ඒකත් අරගෙන මාවත් අරන් ගියා පොලිසියට. මං කිවා එක සෙල්ලම් පිස්තෝලයක් කියලා. පොලිසිය තඹේකට ගණන් ගත්තේ නෑ. මං කිව්වා  ඕක ගෙනාවේ දිවුලපිටියේ මගේ අයියා ළඟ තිබිලා කියලා.

අයියා එක එක වර්ගයේ ආකෘති එකතු කරනවා. මං ඕක දැකලා ලස්සන නිසා අරන් ආව. පස්සේ මාව පෙබරවාරි 13 වැනිදා හිගුරක්ගොඩ  අධිකරණයට ඉදිරිපත් කරලා රඳවා තබා ගැනීමේ අවසරයක් අරන් නැවත මා පොලිසියට ගෙනැල්ලා ප්‍රශ්න කරන්න ගත්තා. මං ඉතින් මොනවා කියන්න ද? මං දන්නේ අයියා ළඟ තිබිලා ගෙනවා කියන්න විතරයි. නැවත මා අධිකරණයට ඉදිරිපත් කළා. එදා මාව හිරේ දැමීමා.  මං හිටියේ පොලොන්නරුවේ හිරගෙදර. එදා ඉඳලා මාසයට දෙ‍පාර ගානේ මාස නවයක් හිඟුරක්ගොඩ උසාවියට ගෙනාවා. ඒ හැම වේලාවෙම නඩුකාරතුමා පොලිසියෙන් අහන්නේ රස පරික්ෂක වාර්තාව ආවා ද කියලා. පොලිසියෙන් නෑ කිවාම ආපහු හිර ගෙදර. බැරිම තැන තීනිඥ මහත්මයෙක් අල්ලලා රජයේ රස පරික්ෂක එකට දෙපාරක් සිහි කැඳවලා  ලිපි දැම්මා. ඒකට කිසිම පිළිතුරක් නෑ.

කොහොම හරි අවසානයේ 2019.11.17 දින හිඟුරක්ගොඩ උසාවියෙන් මා නිදහස් කළා නිදොස් කියලා.  මං නීතිඥ මහත්තයාගෙන් ඇහුවා  ඇයි මා නිදහස් කළේ කියලා. එතුමා කිවා ඒක සෙල්ලම් පිස්තෝලයක් කියලා රස පරික්ෂක වාර්තාව එවලා තියෙනවා කියලා. ඒ වාර්තාව එනකොට අයියාගේ රැකියාව නෑ. ගමේ අය කුලියක්වත් දෙන්නේ නැති නිසා ඇත ගම්වලට ගිහින් කුලී වැඩ කරලා ළමයින්ට කන්න දීලා තියෙනවා. මං හිරේ යනමකාට මගේ පොඩි දුවට මාස 04 යි. පුතාට අවුරුදු 05 සි. පාතාලේ එකාගේ ගෑනියි ළමයි දෙන්නයි කියලා නිතරම ගමේ මිනිස්සු කියලා. දරුවන්ට කිරි දෙන්න, කන්න දෙන්න විදිහක් නැතුව පුදුම විදියට දුක් විඳලා තියෙනවා.

මා බලන්න ළමයි දෙන්නත් එක්ක උසාවියටයි හිර ගෙදරටයි එන්න සල්ලි නැතුව පුදුම දුකක් විදලා තියෙන්නේ. සෙල්ලේ පිස්තෝලයක් නිසා මගේ දරුවන් අද බඩගින්නේ කන්න අඳින්න දෙන්න විදියක් නෑ. දන්න කෙනෙක් ආයතනයක රැකියාවක් දෙන්නේ නෑ පිස්තෝලයක් ළඟ තියන් ඉඳලා හිරේ ගිය පාතාලේ එකෙක් කියලා. මටත් මගේ අයියටත් අද මේ තත්ත්වය උදා වුණේ අපේ රටේ පොලිසියේ වරදින් සහ රජයේ වරදින්. මින් ඉදිරියට මෙහෙම දේවල් නොවෙන්න මේ දෙගොල්ල වග බලා ගන්න ඕනෑ. ලෝකය කොයිතරම් දියුණු වුණත් අද ලංකාවේ රස පරික්ෂක වාර්තාවක් එන්න අවුරුද්දක් දෙකක් යනවා.

මේක වහාම වෙනස් කරන්න.

නැතිනම් අපිට වාගේ අහිංසක දරු පවුල්වලට  වහ බොන තමයි  වෙන්නේ. රජයේ රස පරික්ෂකවරයාගේ රාජකාරිය නිසි වේලාවට ඉටු නොවීමේන් පොලිසිය තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිමත් නිසා අද අපේ රටේ දහස් ගණනකට හිරගෙවල්වල අවුරුදු ගණන් හිරබත්  කන්න වෙලා තියෙනවා. ඒ නිලධාරින්ගේ වරදින්. ඒ නිසා එක පළාතකට එක රස පරික්ෂකවරයකු ගානේ හරි බඳවාගෙන රටේ ජනතවට අවුරුදු ගණන් වරදක් නොකර හිරබත් කන්න වෙන එක වහාම නවත්වන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ විතරක් නොවෙයි මා අත්අඩංගුවට ගන්න අවස්ථාවේ පොලිසිය මගේ ජංගම දුරකථනය සහ ජාතික හැදුනුම්පත ගත්තා. පස්සේ දුරකථනය දුන්නා. හැදුනුම්පත නෑ. මම නිදහස් වෙලා ආවට පස්සේ හිඟුරක්ගොඩ පොලිසියට ගිහින් කිව්වා මගේ හැදුනුම්පත එදා අරන් අපිට දිලා නෑ කියලා. පොලිසිය කියනවා ඒක නැති වුණා කියලා පැමිණිල්ලක් දාන්න කියලා. 2013 පෙබරවාරි 15 නැති වුණා කියලා පැමිණිල්ලක් දාන්න කිවා. මං දැම්මා. ඒ දිනය වෙනමකාට මම හිර ගෙදර. ඒ වෙනකොට මා සතුව තිබුණේ අඟේ තිබුණ අඳුම් ටික විතරයි.

ඔන්න ඔය විදියට තමයි අපේ රටේ දුප්පත් මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ. සෙල්ලම් පිස්තෝලයට මාස 10 ක් හිර බත් කෑවා. පොලිසියෙන් අයිඩින්ටිය නැති කරලා මම හිරේ ගිය දවසේ ටවුමේදී නැති  වුණා කියලා පැමිණිල්ලක් දාන්න කිව්වා. ඔන්න රටේ නීතියයි. මට වුණ අසාධාරණය නිසා මගේ දරුවන් අසරණ වෙලා, මට රැකියාවක් නෑ. කුඩු විකුණන, මංකොල්ල කන්න ඒ වාගේ දේවල් කරන්න කැමැති නෑ. අපි දුප්පත් මිනිස්සු. දරුවන්ට අවශ්‍ය දේවල් කරගන්න මුදල් නැති වෙනකොට ඒවා ඉල්ලලා දරුවන් අඩනකොට ඉවසන්න බෑ.
 ඔහු කීය.

-ඩබ්ලිව්.ඒ.පියතිලක-