ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සඳහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water cup) ඩුබායි සමාගමකින් මිලදී ගැනීම කාර්මික අපනයන,  ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්
සේවා අමාත්‍ය ප්‍රසන්න
රණතුංග මහතා විසින් අත්හිටුවා තිබේ.  මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර  කෝප්ප (Water Cup) මෙරට නිෂ්පාදනය නොකරන බැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම - මෙම ප්ලාස්ටික් වතුර කෝප්ප වතුරද සමග මිලට ගෙන ඇත්තේ ඩුබායි සමාගමකින් වන  අතර, මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03ක් වසරකට ශ්‍රී ලංකන් සමාගම  මඟින් මිලදී ගෙන තිබේ.

එම ඒක් වතුර කෝප්පයක් සඳහා ඩොලර් 7.80 මුදලක් වැය කර ඇති අතර, වසරකට දෙවරක් මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් මිලට ගෙන ඇත. නව රජයේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකන් ගුවන් යානාවල ප්ලාස්ටික් කෝප්ප මින් ඉදිරියට භාවිතා නොකිරීමටද තීරණය කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව දේශීය සමාගමකින් සුදුසු කුඩා කෝප්ප සහ වතුර මිලදීගෙන ගුවන් මගීන්ට ලබාදීමට නියමිතය.

-නවෝද්‍යා පවනී-