https://www.gossiplankanews.com/2019/12/werahera-licence-6-nabbed.html
විවිධ සේවාවන් ලබාගැනීම සඳහා දුරබැහැර ප්‍රදේශවලින් දුරබැහැර මෝටර් රථ ප්‍රවාහන
දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයන්ට අදාළ සේවය පහසු කරදිමට කොමිස් මුදල් ලබාගන්නා බව කියන තැරැව්කරුවෝ හය දෙනෙක් ඊයේ (30) පොලිසිය
විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත පොලිස් මූලස්ථානයේ සෘජු අධීක්‍ෂණය යටතේ උපායදූතයකු යොදවා ඊයේ (30) සිදුකළ මෙහෙයුමකදී මෙම තැරැව්කරුවන් හයදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම තැරැව්කරුවන් පිරිස ඊයේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිටියදී පොලිස්

උපායදූතයාට කතාකොට සිය හිතවත් රාජ්‍ය නිලධාරීන් හරහා අදාළ සේවාවන් ලබාදීමට හැකි බව  පවසා ඔහුගෙන් රු. 10,000ක මුදලක් ඉල්ලා එය ලබාගැනීමට සැරසුණු අවස්ථාවේ සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරින් එම තැරැව්කරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට් ගන් තැරැව්කරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදි ඉතා කෙටි වේලාවකදී  රියැදුරු බලපත්‍ර, වෛද්‍ය සහතික ඇතුළු විවිධ සේවාවන් ලබාදීම වෙනුවෙන් රු. 10,000ක මුදලක් ලබාගන්නා බව ද ඒ කාර්යයන් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සහය වන බව අනාවරණය වූ බවද එම නිලධාරියා සඳහන් කළේය.

ඊට අමතරව රියැදුරු බලපත්‍රවල කාලය දිර්ඝ කර දීම, තාවකාලික රිය පැදවිමේ බලපත්‍ර ලබාදීම සහ නව අයැදුම්කරුවන්ගේ ප්‍රායෝගික පරික්‍ෂණ සමත්කර දීම සඳහා ද මෙම තැරැව්කරුවන් රු. 3500, රු. 5000 හා  රු. 7500 යනාදි වශයෙන් කොමිස් ලබාගන්නා බව අනාවරණය වූ බව ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස දූෂණ මදන ඒකකය හා නුගේගොඩ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය එක්ව වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.


-දසුන් රාජපක්ෂ-