ගාල්ල ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සතිඅන්ත පාසල් ක්‍රිකට් තරග පැවැත්වීමේදී එහි සේවකයන් ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් තරග කරන පාසල් රැසක ක්‍රිඩකයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මීට පෙර තරග පැවැත්වීමේදී එහි සේවකයන් 16 දෙනෙකු තරග රාජකාරී කටයුතු සඳහා යොදවා තිබුණු අතර, මේ වන විට එම සේවක සංඛ්‍යාව හරි අඩකින් එනම් 08 දෙනෙකු දක්වා කප්පාදු  කර තිබේ.

පාසල් කිහිපයකින්ම මේ පිළිබඳව චෝදනා එල්ල වන අතර, අදාළ පාසල් පෙන්වා දෙන්නේ
තමන් ක්‍රීඩා කිරීමේදී යම් හෙයකින් වර්ෂාව පතිත වුවහොත් සේවක සංඛ්‍යාව අඩු නිසා යළිත් පිටිය සකස් කිරීම මන්දගාමී වීම හේතුවෙන් ඉන් වැඩි අපහසුතාවට පත් වන බවයි.

මීට අමතරව මෙතෙක් මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමේදී මේ ආකාරයේ ගැටලුවක් මතු නොවුණු බව සදහන් කරන පාසල්, මේ වනවිට්ට උද්ගතව ඇති තත්ත්වය නිසා ගුණාත්මක ක්‍රිකට් ක්‍රීඩාවක් සඳහා ක්‍රීඩකයින් පෙළගස්වීමද අසීරු කරුණක් වී ඇතැයිද පෙත්වා දෙයි.

එමෙන්ම මෙවැනි ආකාරයේ පරිපාලන ගැටලු මතුවීම තුළ ක්‍රීඩකයින්ගේ මානසික ඒකාග්‍රතාවටද එය සෘජුව සහ වක්‍රව බලපාන බව අදාළ පාසල් චෝදනා කරයි.

මේ සම්බන්ධයන් අප දකුණු පළාත් ක්‍රිකට් කමිටු සභාපති ප්‍රියන්ත සොයිසා මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගත්තේ වැඩි සේවකයන් පිරිසකට අතිකාල දීමනාව ගෙවීමට නොහැකි නිසා බවයි.

"මේ වර්ෂයේ අවසානය නිසා, මේ මාසයට ලැබිලා තියන ප්‍රතිපාදන අපිට ප්‍රමාණවත් නැහැ.

අනික සේකයන් 16 දෙනාම සේවයේ යෙදව්වාම ලැබිලා තියෙන ප්‍රතිපාදනවලට වඩා ඔවුනට මුදල් දීමනා ලෙස ගෙවන්න වෙනවා. එනිසා අපිට එතරම් මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවීමට නොහැකි නිසා අපි යොදවන සේවකයන් ප්‍රමාණය අඩු කළා. ඒ වගේම මම කියන්න ඕන මේ ගැටලුව අපිට එන්නේ මේ මාසේ විතරයි. නැවතත් ලබන ජනවාරි මාසේ සිට අපිට ප්‍රතිපාදන ලැබුණාම අපි සුපුරුදු සේවක සංඛ්‍යාව යොදවනවා.

ක්‍රීඩකයන්ට මේ සම්බන්ධයෙන් අපහසුතාවක් වෙනවා නමි ඒ මේ මාසය තුළ පමණයි. ඉදිරි මාසය තුළ එවැනි ගැටලූවක් පැන නගින එකක් නැහැ" යැයි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීය.

පැතුම් ශ්‍රී විජේරත්න